ලියන්නේ නැතුවා ද දෝණිටත් කවියක්?
මගේ එක් මිතුරියක් නගයි දැන් පැනයක්
මගේ උර මත නිදන ඇය මිහිරි කවියක්
කවිය, කවියට නගන බසත් මට පැනයක්
දියණියක් පැමිණි වග ඇසූ එක් සැණෙකින්
මගේ හිත පිරිමැදිණ මිහිරි වෙන නදකින්
ඒ නමුත් ඒ නදම එක් අසුරු සැණෙකින්
මහ ගොරැති නදක් විය නැගි ගැඹුරු තැනෙකින්
මවට ඇති සෙනෙහෙ ගඟ කොතෙක්දැයි අසනා
දෙවැනි බුදු බව ඇයට පතා පින් පුදනා
ඒ පතන බුදු බවත් පිරිමි වෙත තබනා
මහ පුරුෂ ලොවකි මේ දුව කොහිද තබනා?
කවි පෙළක සුමට බව රැගෙන පිය තබමු
ඒ නමුත් පද අරුත් සෙමින් ගෙන බලමු
සුදු සුමුදු බව සමග රළු පොළව දකිමු
සෙමින් මුත් බරින් අඩි තබා පිය නගමු!
මගෙ දුවේ... බරින් අඩි තබා පිය නගමු!!
No comments:
Post a Comment