(කුලියාපිටියේ
පාසැලක මාපිය කැළක් එක්ව පන්නා දැමුණු කුඩා පුතු, මපුතු මුහුණින් එබී කී කවකි!)
තාත්තේ...
ඊයෙ මුළු රෑමත්- මම බලන් හිටියා
අම්මා ඉකි බිඳින හඬ - මට හෙමින් ඇහුණා
කොයියම්ම මොහොතක - හීනෙක කෙළවරකවත්
නුඹ ඇවිත් හිටියා නම්
දුව එන්න තිබුණා
ළැම හිස හොවාගෙන
වැළපෙන්න තිබුණා...
තාත්තේ...
ඊයෙත් කවුරුවත් නං - පන්තියේ හිටියේ නෑ
මේ ඉස්කෝලෙ කවුරුත් - මාව අඳුනන් නෑ
මට තවත් තැනකට - අලුත් ඉස්කෝලයකට
යන්න වෙන විත්තිය - අම්මා මගදි කිව්වා
අම්මගේ ඇස් අග - කඳුළු මම දැක්කා
තාත්තේ...
ඉස්කෝල මොකටද - මිනිස් පුළුටක් නැති...?
ඉස්කෝල මොකටද - ජීවිත උගන්නන් නැති...?
කිසිම වෙනසක් නැති - වෙනස් ළමයෙක් මං
නමක් විතරක් ඇති - ලෙඩ නැති ලෙඩෙක් මං
තාත්තේ...
අදවත් රෑට හීනෙන් - නුඹ ඇවිත් යනවා නම්
නැගිටින් නැතිව ඉන්නං
හීන කෙළවරකින්වත් - ඇවිත් යනවා නම්
ළඟට දුවගෙන එන්නං
ළැම හිස හොවාගෙන - හයියෙන් අඬන්නං
කිසිම වෙනසක් නැති - වෙනස් ළමයෙක් මං
නමක් විතරක් ඇති - ලෙඩ නැති ලෙඩෙක් මං