Wednesday, March 16, 2011

චරිත සහතික



අයිස් පලමක් ගැනය මේ කව
පාලකයා සමග
කිසිවක් ම නොකරන
කිසිම පෙරමුණකට
මිනිසුන් නොකැඳවන

පේනව නේද නුඹට?
මේ කවිය අයිස් පලමක් ගැන
කඩය‍ට ගොඩ වැදී ඔබ සොයන
ස්ට්‍රෝබෙරි එකයි... චොකලට් දෙකයි...

මම නුඹට මොනවා කියන්න ද?
කිසිවෙක් මිය නොයනු ඇත
රස බලන දිව තුඩු  
ඉටි මෙන් දිය නොවනු ඇත

නොහඬන්න...
මේ කවිය අයිස් පලමක් ගැන

සෙවණැල්ල:  ඇන්ඩෘ මෝටන් - To whom it may concern

Friday, March 11, 2011

දරු ස‍හ බෙරය


පුංචි පුතු සීරුවෙන්
පුංචි බෙරයක් සමගින්
නැගෙයි
බෙර හඬක්
ඩං ඩං ඩං

නොවේ නම් රිද්මයක්
ලයක් හෝ තාලයක්
නිමයි
සියල්ලක්
ඩං ඩං ඩං

ඔහු වීය තනිවම
පෙර අන් සි‍යල්ලකටම
අදයි
උත්සවයත්
ඩං ඩං ඩං

පුංචි පුතු මුහුණින්
අසයි තම පද මැනවින්
නිහඬයි
අතර සැම පදයක්
ඩං... ඩං... ඩං...

නැගෙයි අත්පොළසන්
නිමයි බෙර හඬ දැන්
නොදැනෙයි
පුතුට මේ කිසිවක්
ඩං... ඩං... ඩං...

දෙනෙත් විවරව විශ්මයෙන්
පුතු බලයි සීරුවෙන්
නැගෙයි
පුතු හද හඬ
ලබ්... ඩබ්... ඩබ්...

සෙවණැල්ල: ජෝර්ජ් බෲස් - Responsibilities

වෙරළ අසබඩ නිවහන


සුසුදු පෙණ කැටි විසිරෙන
වෙරළ අසබඩ ශිලා නිවහන
නොතකමින්
ඉරි තැළුණු බව දේහය
අන් ගල් කුළු ලෙසම
නොසැළෙන

යහපත් මිනිසුන්ය එහි
නිවහන ලෙසම යහපත්
නිවහනද සුරකින

පිළිවෙලකි කදිමැති
සෑම දෙයකට ඒ තුළ
මනා ලෙස ගැලපී යන

අපි... දඩබ්බර කොලු රැළ
පමණකිය අපිළිවෙල
මෙකී පිළිවෙල තුළ

නිවහනින් පසුපස
කොළ පැහැ ගේ‍ට්ටුව
කදිම පිළිවෙල ගෙඋයන


විසිවී හැරෙන ලෙස
තල්ලුවෙන් පා පහරින්
කොළ පැහැ ගේට්ටුව
අතරින් පැන දුවමු අපි

වෙහෙසවී මා පිය සැදු
මනහර තෘණ පිටිය මත
තබන පාපන්දුව
ඉගිල යන වේගය

අපි... දඩබ්බර කොලු රැළ
වෙර යොදමු  පා වෙත
සුණු විසුණු වන තණ පත්
මහත් සතුටකි තරගය

උදා හිර සමගින
නැගී විත් දිය දුන්
කැපූ පිළිවෙලකට
තෘණ පිටිය මා පිය සතු

අපි... දඩබ්බර කොලු රැළ
පන්දුවට වන අරගල
විසුණු වන තණ බිම තුළ
බලා නිහඬව මා පිය
ජනේලය අසළම

දහඩියෙන් නෑවී
ගොඩ වදිමි යළි නිවසට
“මහන්සිය ඉවරයි!
නිමයි තණ පිටියම...”
පියාණන් කී මා  වෙත

අසා මා පිය හඬ
නෙතින් කඳුලැල් උපදින

සිනාසෙන ඔහු මුව
දැන් මා පිය දෙඋර මත
“කමක් නැහැ... මා පුත
නුඹ සතුටින්ය” කී ඔහු

සෙවණැල්ල: ජෝර්ජ් බෲස් - House with Back Garden

කවි සෙවණැල්ල


එ කවෙහි සෙවණැල්ල
මත මෙකව ලීවෙමි
එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත

මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන

උස් මුදුන් සම තැනි
එ කවෙහි ද විය මෙලෙසම
අඳුරු හැඩ තල සැකැසුම
අහා! කදිම‍ට ගැලපෙත

එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත

මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන 



- ප්‍රියන්ත ෆොන්සේකා