Monday, August 12, 2019

අතුරුදන් වූවෙකු වෙත ලිපියක්



දැන් මටත් තියෙනවා ගෙදරක්.
ගහපු ටකරංවලිං
වහලක් ගහපු ඉර එළියෙං
ඒත් මට දැනගන්න ඕනෙ මෙච්චරයි
ඔයා නැතිවෙලා ද,
තාම පණ පිටින් ද,
ආපිට එනවා ද?
දරුපැටව් අහනවා මගෙන්
කවදාද?  කිව්වෙ මං ලොකූට

මම නොදන්න විත්තිය.
පොඩ්ඩාට නං
උත්තර නොදී හිටිය.
උගෙ අත් හරිම පුංචියි
කැඩුණු දේ දරන්න අමාරුයි.
සමහර වෙලාවට ඔයාගෙ පුත්තු

අමතක කරල හිනාවෙනව.
ලොකූට තියෙන්නෙ ඔයාගෙම හිනාව.
මෙහෙ තියෙන කටු කම්බි
හරි අලුත්, දිලිසෙනව‍.
නිල්ම නිල් පාටට අහස
බැබලෙනව
ඔයා අතුරුදන් වුණු දාට කලින් දා වාගේම.
මගෙ ලෝකෙ නං ඇකිලිලා
කොහෙන් හරි ඔයා හොයාගන්න
ඕනෙ කියන සිතුවිල්ලටම.

ඔයා කවදාවත්ම නොදැක්ක දෝණි
ඔයා වාගෙයි ටිකක්
හැබැයි ඔයාගෙම කේන්තිය.
එයා දැන් ‘බාලොලි‘ කවි කියා දෙනව
එහා ගෙයි පැටියට.

ඔයාගෙ අම්ම දැන් මා එක්ක කතා නෑ!
ඔයාට මතක ද
මං කොච්චර කිව්වද කියල ඉස්සර
එයා එයාගෙ කච කචේ
නවත්තන් නැති විත්තිය?
එයාගෙ නිස්සද්දෙ හරි බරයි
මම මෙහෙ බිල්ඩිං වැඩපළේ උස්සන
ගල් ගෙඩියක් තරමට
යුද්දෙ ඉවර වුණායිං පස්සෙ
හෝටලයක් හැදෙනව මෙහෙ.

මං දැන්
කලින් කවදාවත් නොවැඳපු
දෙවියන්ට වඳිනව
ඔයා ගැන පුංචි හෝඩුවාවක්වත්,
පණ පිටින් ඉන්න එක ගැන, ඉල්ලනව;
වැට කණුව උඩ මම නමපු වළඳ
පෙරළිලා හුළඟට;
කපුටො දෙන්නෙක් ඉගිලෙනව
උඩින් අපෙ වහලට;
ඕනැම දෙයක්,
ඇත්තටම
කරතෑකි.

සෙවණැල්ල: විවමරී වැන්ඩර්පූටන් - Letter to a dissapered one