Thursday, June 25, 2015

දුරු රටෙක ශීත සමයෙක...

කුටියෙහි කවුළු පොඩියෙන්
නෙත යොමමි පිටතට
අඳුරු කළු මැදියම
නිහඬ ය... හිස් ය... නිසල ය...

මෙදුරු රට ශීතය  - ගත පෙළන රිදුමකි
මෙදුරු රට තනිකම - සිත පෙළන විඳුමකි

එබී තනි කවුළුවෙන්
තව තවත් සොයමි මම
නිහඬ හිස් ගඟනත
අඳුරු කළු මැදියම
එකම එක ලකුණක්වත්
කොහිද මේ සඳවත?

ඈත ඉම් පෙදෙසින්
සඳවත සෙමෙන් නැග එයි
අඳුරු බිම් යට කර
සඳ සරින් නහවයි
අඳුරු කළු මැදියම
පරදා නුබ කුසට විත්
සෙමින් මා සවනට
ලං ලංව කොඳුරයි

“දුරු රටෙහි ශීතය
සිත පෙළන තනිකම
නුඹ වෙත බව දැනී
මා මෙසේ නැගුනෙමි
අමාවක වුවද අද
නුඹ නිසා ආවෙමි“

සඳවතිය වෙත අද
ඇත මා පුරුදු සුවඳක්
මා වෙතට කොඳුරන
හඬෙහි ඇත හුරු ගුණයක්

එනයින් ඇය නැගුණු
තුරු හිස මතින් බැලුයෙමි
වත සඟවනු රිසිවු
හඳුනන සඳක් දුටුවෙමි


(දුරු රටෙක ශීත සමයෙක කුරුටු ගෑ කවකි)




Friday, June 19, 2015

බාලගිරි අද නෙවෙයි එනවාද හෙට?

බාලගිරි අද නෙවෙයි එනවාද හෙට
උදේ බැරි නම් වරෙන් නගේ හවසට
යන්න තව තැන් නුඹට බොහොම තිබුණට
හැම තැනම රැවටිල්ල වරෙන් අපෙ ගෙට

ගිරි ලෙනක නුඹ තනිව හිටියෙ කොහොම ද?
නුඹ නැතිව මාපියන් කඳුළු බිව්ව ද?
එකුස උන් සොයුරු කළ හදිය ඇත්ත ද?
මේ සියලු දුක් කන්ද වින්දෙ කොහොම ද?

බාලගිරි පුතුට නුඹ වින කරනු ඇති
හිතන අපෙ ගෙදර අය නුඹ දැකල නැති
හෙට ඇවිත් නුඹේ වත කිව්වොතින් ඇති
සියුමැලිය මගෙ බිරිය කඳුළු බොනු ඇති

නුඹ සමැති දුක් විඳින ලියන් ඇත අදත්
එය සිතට ගනු පිණිස කියන් වත ඇවිත්
හෙට දිනක ලොව නැගෙන පුතු සදන අපිත්
හා සමග නවතින්න ඇත නිවස ඉඩත්

උඹ වින්ද දුක් කන්ද හොඳටෝම ඇති
හැම දොරම උඹට දෙන රැවටිල්ල ඇති
සෙනසුරුගෙ හෙට නෙවෙයි, නැගණි අදරැති
බාලගිරි හෙට වරෙන් දොර ඇරල ඇති


(සෙවණැලි කවියක් නොවේ)





Wednesday, June 17, 2015

මගේ පුතා හෙට එනවලු!


වැරදීමකින්වත්
ඇවිදිනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
කෙහෙම්මලක් උඩින්වත්

මේ කාලෙ හරිම පුදුමයි
බුදු බණත් හරිම ලාභයි
සේනාවෙ කට්ටිය
උඹව උදුරං යයි

වැරදීමකින්වත්
කතා කරනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
මොනවා හිතට ආවත්

මේ කාලෙ හරිම පුදුමයි
වචනත් හරිම ලාභයි
හිටපු රජෙකුට වුණත්
උඹව ඕනෑ වෙයි

වැරදීමකින්වත්
ඉපදෙනව නෙවෙයි උඹ
හෙට දවාලේ මිස
 රාත්තිරියක නම්

මේ කාලෙ හරිම පුදුමයි
තරුත් සැක නොකර බෑමයි
ගව ලෙනක හැඩ නිසා වාට්ටුව
උඹ අපිට නැති වෙයි

කිසිම සද්දක් නැතිවම
උඹ හෙමිහිට වරෙන්
ඇවිත් ටික දවසක්
නාඬා වුණත් හිටපන්

මල් උඩ ඇවිදින්න
ලොකුකම් ගැන කියවන්න
තරු පිපෙන රෑ මැද
එළු බැටළු රෑන් එක්ක යන්න
පස්සෙ හෙමිහිට බැරියැ?

දැනට...
පරිස්සමින් වරෙන්
උඹ උපදින්නයි යන්නෙ
ඒක සෙල්ලමක් නෙවෙයි!

-තාත්තා-



 (සෙවනැලි කවියක් නොවේ. හෙට උපදින සිඟිති පුතු වෙනුවෙනි)