කුටියෙහි කවුළු පොඩියෙන්
නෙත යොමමි පිටතට
අඳුරු කළු මැදියම
නිහඬ ය... හිස් ය...
නිසල ය...
මෙදුරු රට ශීතය - ගත
පෙළන රිදුමකි
මෙදුරු රට තනිකම - සිත
පෙළන විඳුමකි
එබී තනි කවුළුවෙන්
තව තවත් සොයමි මම
නිහඬ හිස් ගඟනත
අඳුරු කළු මැදියම
එකම එක ලකුණක්වත්
කොහිද මේ සඳවත?
ඈත ඉම් පෙදෙසින්
සඳවත සෙමෙන් නැග එයි
අඳුරු බිම් යට කර
සඳ සරින් නහවයි
අඳුරු කළු මැදියම
පරදා නුබ කුසට විත්
සෙමින් මා සවනට
ලං ලංව කොඳුරයි
“දුරු රටෙහි ශීතය
සිත පෙළන තනිකම
නුඹ වෙත බව දැනී
මා මෙසේ නැගුනෙමි
අමාවක වුවද අද
නුඹ නිසා ආවෙමි“
සඳවතිය වෙත අද
ඇත මා පුරුදු සුවඳක්
මා වෙතට කොඳුරන
හඬෙහි ඇත හුරු ගුණයක්
එනයින් ඇය නැගුණු
තුරු හිස මතින් බැලුයෙමි
වත සඟවනු රිසිවු
හඳුනන සඳක් දුටුවෙමි
(දුරු රටෙක ශීත සමයෙක
කුරුටු ගෑ කවකි)