Monday, August 22, 2011

ප්‍රොජෙක්‍ටර ක්‍රියාකරවන්නා දුටු සිහින‍ය




කුරුලකු පිය සළා විත්
ශාලාව ඇතුළ‍ට
ප්‍රොජෙක්ටර ආලෝකය දැක
ඒ දිග පියෑඹුව...

තිරය මත මල් උයන...
පෙම් යුවල සතුටින...
අසබඩ විසල් රුක
සොඳුරු විය නුබ කුස...

ඒ දුටු කුරුලු තෙම...
වේගයෙන් ඒ වෙත
වැද තදින් තිරය මත
මහ ලේ විලකි... සැබෑ ලේ...

විලාපය ප්‍රේක්ෂක මුව...

“මෙය නම් බිහිසුණු ය...
අප දකිනු රිසි මේ නොවේ....”

සෙවණැල්ල: බ්‍රයන් පැටන් - The Projectionist’s nightmare

Thursday, August 11, 2011

මෙ‍ම කවිය බිහිසුණු ය...


මෙ‍ම කවිය බිහිසුණු ය

එය තැබිය යුතු නැත
දරුවන් අත පොවන මානය
වැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...

යමෙකු ගිල දැමුවොත් මුළුමනින්
අතුරු ආබාධ එනු ඇත නොනැවතී

‍නන්නාඳුනන බිහිසුණු කවිය
හමුවුවද මහ මග
පොදු ජන අවකාශයක
නොපිළිගන්න... නොකියවන්න...
උත්සාහ නොකරන්න...

බිහිසුණු කවිය ගෙන
මුද්‍රා තබා කවරයක සුරැකිව
ළඟම තක්සලාව වෙත යවන්න

එවිට උගතුන් ලිහනු ඇත
කරදර නොවන ලෙස
එම කවිය බිහිසුණු ය...

අති සරල කවියක් වුව
දිය කරනු ඇත ඔබේ හදවත
මිනිස් සිතිවිලි පොදි ගෙන
හද සසල කරවනු ඇත...

සියලු කවි වෙත රජයේ මුද්‍රාව තැබිය යුතු
‘මෙම කවි බිහිසුණු ය...
හද සසල වනු ඇත...’

සෙවණැල්ල: එල්මා මිෂෙල් - This Poem...

Tuesday, June 14, 2011

විරහ ගීයක්


‍‍‍ඔරලෝසු නද නවතන්න
දුරකතන  සිඳලන්න
බුරන බලු නවතන්න
මස් කටුවක් දෙන්න

බෙර පද පන්සලෙහි
පියානා නද මැදු‍රෙහි
නවතන්න නවතන්න
මිනී පෙට්ටිය ‍රැගෙන
වැළපෙන්නන් කැඳවන්න

ගුවන් නියමුවනි යානය පදවන්න
ඔහු මිය ගිය බව ගගනත ලියවන්න
සැම දනන් දොර දොර සුදු කොඩි රඳවන්න
ජාතික ධජය ගෙන අඩ කුඹු කරලන්න

මාගේ උතුරද, මාගේ දකුණ ද
නැගෙනහිර බටහිරද
මාගේ දහවල ද මැදියම ද
කතාව ද ගීතයද
විය ඔහු ම
සිතූයෙමි මම ඔහු පෙම
සදාකාලිකයැයි
වැරදියි මම

අවැසි නැත කිසිත් තරු
පසෙක කැඳවා යන්න
දිලෙන ඉර හා සඳත්
එක‍ට ගෙන පොදි ලන්න
මුහුද දැන් බැස යන්න
වනය වියැකී යන්න

මේ කිසිත් ගෙනෙන සුව
මේ කිසිත් ගෙනෙන ජය
යළිත් නැති


සෙවණැල්ල: ඩබ්ලිව්. එච්. අවුඩන් - Song

Monday, May 2, 2011

එන්න මා වෙත


ඇස්ටන් මාටින්, බෙන්ස් සහ වොල්වෝ
දිවෙති අධි වේග මග මත
යන අත නිසි නොදැන වුව
ඩන්හිල්, බෙන්සන් ඇන් හෙජස්
උරන තරුණන්ය තැන තැන
දල්වා උ මුව රැන්ඳුව
ඇතැමෙක් වෙලති සිය දිවි
කොක්ටේල බෝතල වට

ප්‍රියය නුඹ?
දෙනෙත් කරකනු මන් ද
මග හසර නොදනිත් ද
එන්න
මා පහස ලැබගන්න
මගේ ඩාලිං වෙන්න

නොමැතියි හෙ‍ටක් යැයි දවසක්වත්
දෙසති සකල පූජක පෙළ
කදිමයි, තව තිබෙයි සතියක් දෙකක්!
ඇතැමෙක් කියති තුටු වී
පත්තර පිටු පිරී යෙති
බිහිසුණු රුදුරු කරුණින්

ප්‍රියය නුඹ?
දෙනෙත් කරකනු මන් ද
මග හසර නොදනිත් ද
එන්න
මා පහස ලැබගන්න
මගේ ඩාලිං වෙන්න

සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - Come. And be my Baby

Sunday, April 24, 2011

මෙපමණකි...


අයිස් පෙට්ටියේ
නුඹ තැබූ
ඉදුණු පල ගෙන
කෑවෙමි

බොහෝ විට
ඒ නුඹේ
පාතාරසය
විය හැක

සමාවුව මැන
බොහෝ රස විය
මිහිරැති විය
ශීත විය



සෙවණැල්ල: විලියම් කාර්ලොස් විලියම්ස් - This is just to say