සිංහයා මිය ගිය වග
අසා යළි ගල් දොර හැර
සිහබා කුමරු තෙම
දෙන අසබඩට පැමිණෙයි
මහළු සුප්පාදේවිය
කම්පිතව වැළපෙයි
සිහසීවලී කුමරිය
කඳුළු කැට වගුරයි
වැදි රජු අතැර ගිය
වන බිම තනිව හමුවුණු
මනමෙ කුමරිය සිහබා
ඇඹේනිය වී ඇත
වියපත් සිංහ පියතුම
දෙණ දෙස සොවින් නෙත් දී
සිහබා කුමරු තෙම
යළි ගල් ලෙනට පිවිසෙයි
දහස් නාටකවල
වැදි රජු අතැරි කුමරිය
සිහබා සමග යළි ගොස්
ගල් ලෙනට වැද සැඟවෙයි
මහළු සුප්පාදේවිය
දෙන ළඟ සොවින් වැළපෙයි
සිහබා කුමරු තෙම
ගල් දොර වසා සැඟවෙයි
ඇට තුළට වන් සෙනෙහස
සොයා ගම් බිම් සැරිසරා ආ
පියතුම සොවින් මළ වග
ලියූ නාටකයක් නැත
ගල් ලෙන බිඳ දමාගෙන
ගල් දොර හැර පියාගෙන
ගිය කුමරුවෙක් නැත
දොර නොහැරියා මිස
- මෙය සෙවණැලි කවියක් නොවේ -