Thursday, September 7, 2017

නිවනට මෙපිට පොඩි තැනක්!

මොනම දෙවියෙක් ගැනවත්
විශ්වාසයක් ඒ හැටි නැතත්
මමත් ඉහිට යම් දේ ඉල්ලුව
ලැබෙයි කියල අදහසක් නැතුවත්

මේක නම් දෙවියො දුන්න කියල
හිතිල තිබුණේම නැතත්
ඉල්ලපු වාර තිබුණ දෙවියන්ගෙන්
ලැබෙයි කියල අදහසක් නැතුවත්

අම්ම ලෙඩ වෙනකොට
තාත්ති නැති වෙනකොට
අවිස්වාසෙ පැත්තක දාල
හිතුව තමයි ඇත්තටම
දෙවියො දැන් ආවනම් කියලත්

දෙවියන්ටත් පුදුම ඇති
ඉන්නව නම් කොහේ හරි
මගෙ මේ දෙබිඩිකම
බණිනවත් ඇති පිස්සු කියලත්

අදත්... ඉල්ලන්න හිතෙනව
තාත්ති විතරක් නෙවෙයි
නැති හින්ද අම්මත්
ආයෙම නොඑන්නම ගිහින් ඇති හින්දත්

මහ දෙයක් නම් නෙවෙයි දෙයියෝ
ඒ ගොල්ලො ආයෙම
ගේන ජාතියෙ බැරි වැඩ
මවන ජාතියෙ විරු වැඩ
ඉල්ලන්න හිතිලම නෑ
නොවෙන බව මම දන්න හින්දත්

එකම එක සුළු දෙයක්
නිවනට මෙපිට පොඩි තැනක්
හදල දෙනවද අපේ අම්මට
කලොත් නම් ලොකු උදව්වක්

ඇගෙ අත් අකුරින්ම කටු ගෑ
අම්මගෙ පුංචි කවි පොත්
සතුටින් පෙරළ පෙරළා උන්
පරණ ශ්‍රී සගරා

තව පුංචි රේඩියෝවක්
තිබුණොතින් නම් ලොකු දෙයක්
ඳුදට මුවන් පැලැස්ස විතරක්වත්
ඇහුණොතින් ඇති නෑ සැකක්

ඔව්...
නිවන නම් නෙවෙයි...
නිවනට මෙපිට පොඩි තැනක්

නිවනට එද්දි මහ ගොඩක්
බත් තම්බලම නිවනක්
නැති වේවි අපේ අම්මට
ඒක මහ කරදරයක්...

අවුරුදුම පණහක් හැටක්
තිබුණෙ නෑ අම්මට නිවනක්
නිවනට මෙපිට පොඩි තැනක්
ඒක වෙයි ලොකු නිවනක්!!!


No comments:

Post a Comment