කුස්සියේ ඉදුණු අවුරුදු බතෙහි
සුවඳ මට මේ තවම දැනෙනවා
දොර පියන විවර කර නුඹ ඇවිත්
කමු දුවේ කියනකම් ඉන්නවා
මං තවම මේ මෙතැන අම්මේ...
නුඹ දැන් එතැයි සිතා මම ඉන්නවා
ඈත කොහෙදෝ තැනක හන්දියක
සංගීත සාජ්ජේ ඇහෙනවා
හැමදාම අවුරුද්ද කෙළවරට
යාළුවන් එක්ක නුඹ දුවනවා
මං තවම මෙතැන අයියණ්ඩියේ...
නුඹ දැන් එතැයි සිතා මම ඉන්නවා
වැසී ඇති කවුළු දොර කෙළවරින්
පොඩි උන්ගෙ සිනා හඬ ඇහෙනවා
පොඩි මල්ලි ටිකකට කලින්
කොලු රැළ මැදට පැන්න බව දන්නවා
මං තවම මේ මෙතැන මල්ලියේ...
නුඹ දැන් එතැයි සිතා මම ඉන්නවා
කෙළවරේ කාමරේ සෙනෙහෙ ගෙන
මගෙ ආච්චිත් දොර දිහා බලන් ඇති
ඇවිදගෙන එන්න බැරි බව හැබැයි
ඒ නමුත් මං බත් කවයි හිතන් ඇති
මං තවම මෙතැන අත්තම්මියේ...
බත් එක අරන් එන්න මම ඉන්නවා
හැමදාම කුණු ගඳනෙ මගෙ දුවට
අවුරුද්ද එන නිසා නා ගන්න
මේ සුවඳ සබන් කැට මදි හැබැයි
අර පේන කුණු කන්දෙ ගඳ යන්න
සිනාසී කියා ගිය තාත්තේ...
මං තවම මේ මෙතැන ඉන්නවා...
කවුරු හරි ඇවිත් දොර අරින තුරු
මේ බිත්ති කණු පේලි හරින තුරු
බාල්කය හිස මතින් ගන්න තුරු
අම්මාගේ සුවඳ දෙන බත කන්න
ඒ බත් මිටක් ආච්චිට ගොස් දෙන්න
තාත්තගෙ සෙනෙහෙ ගඟ සිහි කරන්
කුණු කන්දෙ ගඳ යන්න නාගන්න...
මං තවම මේ මෙතැන ඉන්නවා...!
No comments:
Post a Comment