(ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිට වූ පසු මවක් වෙත ලැබුණු කවියක්!)
පහේ කණිසමට නිදිමත මරාගෙන
ඉහේ පෙරවනය විසිකොට දමාගෙන
හිතේ දුකින් පොත ඇස යට තියාගෙන
ඔහේ උන්න අම්මේ මම බලාගෙන
බිම කළුවර මැකී ලොව මතුවෙන්න කලින්
ඉර මාමගෙත් නිදිමත නැතිවෙන්න කලින්
ඇඳෙන් බිමට මා ඇද දැමූ නුඹේ හඬින්
ඇස ඇරුණේ පොත උඩ නැටු අකුරු හැඩින්
සීයෙන් සීය ගන්නට මට කිව් අම්මා
සීයේ අගය ටිකකින් පැත්තක දැම්මා
සීය අගට තව ලොකු අගයක් නම්මා
දෙසීයක් අරන් එන්නැයි කිව් අම්මා
පිට්ටනියේ බෝල බැට් ටික වල් වැදුණා
සෙල්ලම් බඩු ගෙදර මුළුවල දැල් බැදුණා
යාළු මුළු සැවොම තරගෙට බැඳ තිබුණා
ආසා නැතත් අපි ටික පිටියට වැටුණා
කතන්දර පොත් අතර හිටි සුදු හා පැටියා
මිදි වැලකට උඩ පැන නැටු අර නරියා
දිවිය ලෝකයට ඉගිලුණු ලොකු අලියා
ආයෙත් මා ළඟට එනකං මං හිටියා
ලොකු ඉස්කෝලයක් මට මොකටද අම්මේ
යන්නට වෙයි නේද නුඹ දමලා අම්මේ
ලකුණු අඩු වෙලා නෑ නාඩන් අම්මේ
දෙසීයට ගණින්නං මං මගෙ අම්මේ!