Tuesday, February 19, 2013

ආකාසේ සිදුරු ගොඩක්


මහගොඩක් සිදුරු නොවැ
ආකාසෙ පුරාවට
වැහි බින්දු වෑහෙන්නෙ
ඒ නිසයි හැබෑවට

ඒ වුණත් ඒ සිදුරු
හරිම පුංචියි හැබැයි
වැහි බිංදු ඔය තරං
චූට්ටං ඒ නිසයි

සෙවණැල්ල - There Are Holes In The Sky - ස්පයික් මිලිගන්

Tuesday, January 29, 2013

සුනිලෙ


සුනිලේ
ඔව්... ඒ මගේ යාළුවා

උන්නෙ මගෙ පන්තියේ
ගේ තිවුණෙ අපෙ ගමේ
ඕ ලෙවල් පේල් වෙලා
එකට යුද්දෙට ගියේ

හිටියෙ එක බැරැක්කේ
එකම රෙජිමන්ට් එකේ
ෆ්ර න්ට් එකට යවන කොට
එකටමයි අපි ගියේ‍

යුද්දෙ සැරටම ගියා
සුනිලෙ ඉස්සර වුණා
කැප්ටන්ල කියනකොට
ෆයර් කරගෙන ගියා

කතා වෙල උන්නාට
එකට ඉමු බං කියල
සුනිලෙ දාල තිබුණ
කිලිනොච්චි දිහාවට

නිවුස් එක ලැබෙනකොට
මං හිටියෙ මෙස් එකේ
පිළිගන්න බැහැ කියල
මමයි කලබල කළේ

කඳුළු වාවන් නැතිව
මං එදා අඬන කොට
කැප්ටන්ල මට බැන්න
යුද්දෙ එහෙමයි කියල

ඔව්, සුනිලෙ මගේ යාළුවා

උන්නෙ මගෙ පන්තියේ
ගේ තිවුණෙ අපෙ ගමේ
ඕ ලෙවල් පේල් වෙලා
එකට යුද්දෙට ගියේ

සෙවණැල්ල: ඇලෙක්ස් කොකර්ස් - Tom

Monday, December 10, 2012

නිහඬව හිස නමමු



නිවැරදි සහ වෙසෙසි
බොහෝ පියවරයන් තැබු
පියවරු සියක් දහසින්
මොලොව කල'රින්නට ඇති

බිය බියට පත් කළ
කටොළු පරදා ජය දුටු
දුකට පිරිපත පෙන්වූ
පියවරු බොහෝ වන්නැති

මෙ සැම පිය අතරෙහි
අප දනිමු එක මිනිසෙක්
විසූ බව නිවසෙහිම
විහිදුණු බිත්ති අතරෙහි

නොකළේය ඔහු විරුකම්
සුවිසෙස් ධීර නද ලැබු
කළේ පමණකි නිවරද
ඒ නිවරද ම වූයෙන්

ඔහුට අනවැසි සුරුවම්
විරුවන්ට දෙන අභිමන්
කළේ පමණකි යහපත
ඒ යහපතම වූයෙන්

ජන මන නොදුටුවේ මුත්
ඔහු ගුණ අපි දුටිමු
විරු සමරු නොලබන
මනුසත් සුවය වින්දෙමු

මහා මිනිසත් ගුණ
බිහිවන මොහොත සෙවුවිට
දින දින නැගුණු ගුණරුව
ගෙවුණු කල තුළ හමු විය

විරු සමරු නොලබන
සුරුවම් ඉදි නොවන
රුව හදෙහි පිරියම් කොට
නිහඬව හිස නමමු

‘ඒ අපේ පියතුම‘
අභිමනින් පිළිගමු!


-සමුගෙන ගිය තාත්ති වෙනුවෙනි -

සෙවණැල්ල - Silent Honor  - ජෝශප් ඩී ජැන්සන්





Saturday, October 27, 2012

අඳුරු ඉරුදිනය



මේ ඉරු දිනය අඳුරුය
නිදි නොමැති හෝරා අතර
මම හිඳිමි
දයාබරිත සෙවණැල්ල අසන්න
කිසිවකුත් නොමැති තැන මම හිඳිමි
සුමුදු සුදුවන් කුසුම
කිසිවිට නැගෙනු නැත
අඳුරු කළ පිළියෙන් වැසුණු
දුක් සුසුම් හෝ පැමිණ
 නුඹ කැටුව නොයනු ඇත
යළි හැරී ඔබ වෙතට එන සිතක්
සුරඟනන් වෙතට යළි නොඑනු ඇත
ඔබ වෙතට මා පැමිණි පමණින්ම
ඔවුන් සැම උරණ වූවාවත් ද?

ඉරු දිනය අඳුරු ය,
සෙවණැල්ල සමගින්ම රැඳෙන්නට
සිතමි මම
මගේ හද පමණක්ම මා සමග තබාගෙන
අවසාන පැය තෙක්ම මෙහි රැඳෙමි
ඉක්මණින් ඉටි පහන් නැඟෙනු ඇත
දනිමි මම මෙහි ඒවි දෙව් පිහිට යදින්නන්
යතිවරුනි හඬන දෙසවන්වලට කොඳුරන්න
මා ගියේ සතුටිනැයි පවසන්න
සිහිනයක් නොවන මරණය
මෙහි එන්න, සෙනෙහසින් වැළඳගමි මා නුඹව
ආත්මය තුළින් එන
අවසාන සුසුම් පොද
සමග විත් නුඹ වැළඳ ගමි තුටින්

මම දකිමි, සිහින පමණක් දකිමි
නැගුණු මුත් මම දුටිමි
නුඹ තවම නිදි සුවෙන් බව තුටින
මගේ හද ගැඹුරු පතුලෙහි තැනෙක
දයාබරිය... මම පතමි
මගේ සිහිනය නැගී කිසි විටක
නුඹ බියෙන් නොපෙළන්න යැයි කියා
නුඹ තුටින් සැතපෙන්න යැයි කියා
ඔබට වන පෙම තරම කෙතරම්ද යැයි කියා
මගේ හද සවනතට කියන හඬ මට ඇසෙයි

එහෙත් මේ ඉරු දිනය අඳුරුයි...

සෙවණැල්ල - Gloomy Sunday - ලැස්ලෝ ජවර්

සටහන : හන්ගේරියානු පියානෝ වාදකයකු හා සංගීත නිර්මාණකරුවකු වූ රෙසෝ සෙරෙස් විසින් Gloomy Sunday නමින් ගීතයක් සම්පාදනය කරන ලද්දේ 1933 වසරේ දී ය. ගීතයේ පදවැල ලැස්ලෝ ජවර්ගේය. ඉමහත් වේදනාබරිත සංගීත ස්වර නාද සැකැස්ම නිසා එය යුරෝපය පුරා ප්‍රචලිත වූ අතර මේ සංගීතය අසමින් ම දිවිතොර කරගත් පිරිස් නිසා එය මහත් ආන්දෝලනයකට ලක් විය. දෙවන ලෝක යුධ සමයේ නැගී ආ ෆැසිස්ට් තර්ජන හමුවේ සිය හන්ගේරියානු වැසියන් අත්විඳින භීතිය, සංගීතකරුට කම්පනයක්ව දැනෙන අන්දම මෙහි සැඟව ඇත. මෙනමින් ආ චිත්‍රපටයද යුරෝපීය සිතුවම් පට අතර පෙරමුණේ වෙයි.


සංගීත රචක සෙරස්ද අවසන දිවි තොරගත් අතර ඔහුගේ බිරිඳද වස පානය කර දිවියෙන් සමුගත්තා ය. සංගීත නිර්මාණයේ යටි පෙළ හඳුනාගන්නා රසිකයා දිවි තොරකර ගැනීමට පෙළඹෙන්නේ එහි වන වේදනාව වටහාගන්නා බැවින් යැයි මතයක් ප්‍රචලිතව පැවතිණ.


















ගීතය - හන්ගේරියානු බසින්




ග්ලූමි සන්ඩේ චිත්‍රපටයෙන්

Saturday, October 20, 2012

මම තවම නැගෙමි


නුඹගේම කුරිරු සහ තිත්ත බොරුවෙන් ලියා
ඉතිහාස පිටු අතර නුඹ මාව රඳවාවි
අඳුරු කළුවර තැනක යදම් බැඳ සඟවාවි

එහෙත් දැනගත යුතුය
දුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්

මා වෙතැති දිරිය දැක
ඔබ තදින් සැලුණේ ද?
මා දකින විට මුවෙහි
අඳුර නැග එනු මන් ද?

ඔව් ඉතින්...
මා ඇවිද ගියේ හිස නොබා පෙරටම දිගට
මගේ ගෙයි හරි මැදින් නිධන් ලැබුණෙකු ලෙසින්

සඳ ගෙනෙන හිරු ගෙනෙන
ලොව නගන කිරණක්ව
සයුර වෙරළට ගෙනෙන
චණ්ඩ රළ පහරක්ව

නැගෙමි මම යළි යළිත්

අත් බිඳුණු පා බිඳුණු
මා දකිනු රිසි විනි ද?
හිස නැමුණු නෙත් වැසුණු
මගේ රුව සෙව්වා ද?

කොපුල් කඳුලින් තෙමී
උරහිස් ද වෙළාගෙන
මා සිටිනු මැවුණා ද
පරාජිත විලාසෙන

මා වෙතැති සවිය දැක
ඔබ එඩිය බිඳුනා ද?
එය දරන්නට තරම්
ඔබ සමත් නොවුණා ද?

ඔව් ඉතින්...
මා ඇවිත් සිනා නැගුවේ දිගට
මගේ පා ලද බිමෙන් රුවන් ලැබුණෙකු ලෙසින්

ඔබේ වදනින් හැකිය
මවෙත වෙඩි තබන්නට
ඔබේ නෙත් සර සරිය
මගේ ගෙල සිඳින්නට
සැහැසි සැලකිලිවලින්
හැකිය දිවි නසන්නට

එහෙත් දැනගත යුතුය
දුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්

අතීතය වළ දැමූ සොහොනතින් මම නැගෙමි
වත්මනෙන් ගලා ගිය ලේ දහර මත නැගෙමි
අඳුරු බියකරු රැයෙහි කළුවරින් විත් නැගෙමි
උදෑසන නැගෙන හිරු පියකරුය, ඉන් නැගෙමි

අතීතය වත්මන ද එක්ව ගෙන අදිටනින්
අනාගතයම සොයා නැගෙමි යළි තිර හදින්

මම නැගෙමි
යළි නැගෙමි
නොබා පෙරටම ඇදෙමි



සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - Still I rise

Wednesday, September 26, 2012

මා දයාබරිත සඳ


යතුරු ලා හිමිදිරිය
ළිං පතුලකට ලන්න
හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳ
හරි හෙමින්...

අමතකව ගියා දෙන්
හිරුට අද නැග එන්න
හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳ
හරි හෙමින්...

(ඇෆ්ගනිස්ථාන විවාහ මංගලෝත්සවවලදී ගැයෙන ගීයක ඡායානුවාදයකි)


Khaled Hosseini ගේ - The Kite Runner කෘතියෙන් ලද පද පෙළක සෙවණැල්ලකි




Sunday, September 2, 2012

කූඩු කුරුල්ලාගේ කූජනය


විදාහල පියාපත් සළා ගගනතට වැද
නැගී යයි ඒ නිදහස් සියොත්
යළි වැරෙන්, මහ සැරෙන්
මිහිකත දෙසට බා විත්
රිදී හිරු රැස් පහස වෙත
යළි යළිත් පියඹයි

එනමුත් මේ කූඩුවේ කුරුල්ලා
බැඳී පා, එතී පත් ගැට ගැසී
හෙමි හෙමින්,මැදිරි දොරගුලු තුළින්
ලොව දෙසට නෙත දී
කූජනය අරඹයි

මේ කූඩුවේ කුරුල්ලා
සැලෙන කම්පිත නදින්
ගයයි යම් අරුමැති දෙයක්
වැද සැරෙන්, නද නැගෙත්
දුරු බිම කිඳ හා වනබිම සිසාරා
ඒ නිදහසේ ගීයයි

නිදහසින් පියා විදි කුරුලු තෙම
නෙත යොමන්, විමසමින්
ලේ පිරුණු ගොදුරක්
ගගණතම සිය නමට ලියමින්
තවත් උණුසුම් සුළං විමසයි

එහෙත් මේ කූඩුවේ කුරුල්ලා
අඳුරු සෙවණැලි අතර ගෙවමින්
වැද බියෙන්, සැඟවෙමින්
භයංකර සිහින මැද යළි නැගී
කූජනය අරඹයි

මේ කූඩුවේ කුරුල්ලා
සැලෙන කම්පිත නදින්
ගයයි යම් අරුමැති දෙයක්
වැද සැරෙන්, නද නැගෙත්
දුරු බිම කිඳ හා වනබිම සිසාරා
ඒ නිදහසේ ගීයයි

සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - I Know Why The Caged Bird Sings