Monday, October 7, 2013

වම් ඉවුර සිහි කරමි



වම් ඉවුර සොඳුරුය
බොහෝ කලකට පෙර,
මා එහි ඉම් පෙදෙස්
හොඳින් දැන සිටියෙමි

හිරු නැගෙද්දී
ගංතෙර මල් නැගී
රත් පැහැය ගෙන දිලින
ගිනි ලෑ විලස දිදුලමින

වසන්තයේ දී
ගං දිය රැළී නැගී
නිල් පැහැ ගෙන දිලින
සුපැහැදිලි ලෙස දිදුලමින

මා කෙසේ නම්
ඒ මතක නසමි ද

වම් ඉවුර සොඳුරුය
බොහෝ කලකට පෙර,
මා එහි ඉම් පෙදෙස්
හොඳින් දැන සිටියෙමි

සෙවණැල්ල - බායි ජුයිගේ කවියකිනි

Saturday, June 29, 2013

කාලයට මම අකමැතියි...



දුවන්නට හැකි වෙතොත්
කාලයේ පසුපසට
මම දුවමි හරියටම
වසරකුත් සතියක් මුලට
හරියටම  හරි දිනට
නුඹේ අවසන් කථන ඇමතුමට

මම කියමි රෝහලට
දැන්ම යන්නැයි කියා
නුඹ පෙළන බඩ රිදුම
පුංචි නොවෙතැයි කියා

කාලය තරම් බිහිසුණු
කිසිත් මම නොදනිමි
යන්න අවසර නැති
කරුණු මම විමසමි...

අවසර තිබිණි නම්
තාත්ති නුඹ තවම මෙහි
සමුගෙන වසරකුත් නොව
සමුගන්න තව කල් ඇති...

(අපේ තාත්ති අපෙන් සමුගෙන අදට වසරකි!)

Thursday, May 30, 2013

නිශ්ශබ්දතාව

නුඹ වෙතින් නැගි
නිහඬකම දැක
විඳගතිමි මම
සියලු හැඩ රූ
අසන්නට පෙර
එකම වදනක්

අවැසි නැති දැන්
කිසිත් හඬ මට
සියලු හැඩ දැන
හැඳින අවසන්
නුඹ වෙතින් ආ
නිහඬකම විඳ

සෙවණැල්ල - ලෝන්ග්ස්ටන් හියුජ්ස් - Silence

Thursday, February 28, 2013

සිංහයා මිය ගිය වග




සිංහයා මිය ගිය වග
අසා යළි ගල් දොර හැර
සිහබා කුමරු තෙම
දෙන අසබඩට පැමිණෙයි

මහළු සුප්පාදේවිය
කම්පිතව වැළපෙයි
සිහසීවලී කුමරිය
කඳුළු කැට වගුරයි

වැදි රජු අතැර ගිය
වන බිම තනිව හමුවුණු
මනමෙ කුමරිය සිහබා
ඇඹේනිය වී ඇත

වියපත් සිංහ පියතුම
දෙණ දෙස සොවින් නෙත් දී
සිහබා කුමරු තෙම
යළි ගල් ලෙනට පිවිසෙයි

දහස් නාටකවල
වැදි රජු අතැරි කුමරිය
සිහබා සමග යළි ගොස්
ගල් ලෙනට වැද සැඟවෙයි

මහළු සුප්පාදේවිය
දෙන ළඟ සොවින් වැළපෙයි
සිහබා කුමරු තෙම
ගල් දොර වසා සැඟවෙයි

ඇට තුළට වන් සෙනෙහස
සොයා ගම් බිම් සැරිසරා ආ
පියතුම සොවින් මළ වග
ලියූ නාටකයක් නැත

ගල් ලෙන බිඳ දමාගෙන
ගල් දොර හැර පියාගෙන
ගිය කුමරුවෙක් නැත
දොර නොහැරියා මිස

- මෙය සෙවණැලි කවියක් නොවේ -

Tuesday, February 19, 2013

ආකාසේ සිදුරු ගොඩක්


මහගොඩක් සිදුරු නොවැ
ආකාසෙ පුරාවට
වැහි බින්දු වෑහෙන්නෙ
ඒ නිසයි හැබෑවට

ඒ වුණත් ඒ සිදුරු
හරිම පුංචියි හැබැයි
වැහි බිංදු ඔය තරං
චූට්ටං ඒ නිසයි

සෙවණැල්ල - There Are Holes In The Sky - ස්පයික් මිලිගන්

Tuesday, January 29, 2013

සුනිලෙ


සුනිලේ
ඔව්... ඒ මගේ යාළුවා

උන්නෙ මගෙ පන්තියේ
ගේ තිවුණෙ අපෙ ගමේ
ඕ ලෙවල් පේල් වෙලා
එකට යුද්දෙට ගියේ

හිටියෙ එක බැරැක්කේ
එකම රෙජිමන්ට් එකේ
ෆ්ර න්ට් එකට යවන කොට
එකටමයි අපි ගියේ‍

යුද්දෙ සැරටම ගියා
සුනිලෙ ඉස්සර වුණා
කැප්ටන්ල කියනකොට
ෆයර් කරගෙන ගියා

කතා වෙල උන්නාට
එකට ඉමු බං කියල
සුනිලෙ දාල තිබුණ
කිලිනොච්චි දිහාවට

නිවුස් එක ලැබෙනකොට
මං හිටියෙ මෙස් එකේ
පිළිගන්න බැහැ කියල
මමයි කලබල කළේ

කඳුළු වාවන් නැතිව
මං එදා අඬන කොට
කැප්ටන්ල මට බැන්න
යුද්දෙ එහෙමයි කියල

ඔව්, සුනිලෙ මගේ යාළුවා

උන්නෙ මගෙ පන්තියේ
ගේ තිවුණෙ අපෙ ගමේ
ඕ ලෙවල් පේල් වෙලා
එකට යුද්දෙට ගියේ

සෙවණැල්ල: ඇලෙක්ස් කොකර්ස් - Tom

Monday, December 10, 2012

නිහඬව හිස නමමු



නිවැරදි සහ වෙසෙසි
බොහෝ පියවරයන් තැබු
පියවරු සියක් දහසින්
මොලොව කල'රින්නට ඇති

බිය බියට පත් කළ
කටොළු පරදා ජය දුටු
දුකට පිරිපත පෙන්වූ
පියවරු බොහෝ වන්නැති

මෙ සැම පිය අතරෙහි
අප දනිමු එක මිනිසෙක්
විසූ බව නිවසෙහිම
විහිදුණු බිත්ති අතරෙහි

නොකළේය ඔහු විරුකම්
සුවිසෙස් ධීර නද ලැබු
කළේ පමණකි නිවරද
ඒ නිවරද ම වූයෙන්

ඔහුට අනවැසි සුරුවම්
විරුවන්ට දෙන අභිමන්
කළේ පමණකි යහපත
ඒ යහපතම වූයෙන්

ජන මන නොදුටුවේ මුත්
ඔහු ගුණ අපි දුටිමු
විරු සමරු නොලබන
මනුසත් සුවය වින්දෙමු

මහා මිනිසත් ගුණ
බිහිවන මොහොත සෙවුවිට
දින දින නැගුණු ගුණරුව
ගෙවුණු කල තුළ හමු විය

විරු සමරු නොලබන
සුරුවම් ඉදි නොවන
රුව හදෙහි පිරියම් කොට
නිහඬව හිස නමමු

‘ඒ අපේ පියතුම‘
අභිමනින් පිළිගමු!


-සමුගෙන ගිය තාත්ති වෙනුවෙනි -

සෙවණැල්ල - Silent Honor  - ජෝශප් ඩී ජැන්සන්