Friday, December 30, 2022

මේ ඔහුම ද?

 අතීතයේ අඳුරු කොණක

නැවතී සිටි එක මුහුණක්

අවන්හලක අඳුරු කොණක

මා හඳුනාගත නොහැකිද?


මේ ඔහුම ද?


හැරී බැලූමුත් ඔහු දෙස

නොම හඳුනන මිනිසකු ලෙස

තේ කෝප්පයට ඇස දෙන

මේ ඔහුම ද?


එසේ නැතිව,

කාලය හරහා ආ මග

මැකී ඈත යුගයට දිවු

ඒ ඔහුගේ ඡායාව ද?


මේ ඔහුම ද?


ඒ නැතිනම්, 

ඒ හැඩරුව සමග නැගුණු 

වෙන කෙනෙක් ද?


බී නිම කළ කෝප්පයට 

සමු දී ඔහු

නැගී ඇදෙයි


ඒ ඔහුම ද?


අවන්හලේ දොරටුව'බඩ

යළි හැරෙනා ඔහුගේ නෙත්

එකම එක වරක් මා දෙස


"මේ ඔහුම ද?"


වීදිය දිග ඇදී නැගෙන

විසල් සෙනඟ අතර ගිලී

ඔහුගේ රුව මැකී වැසෙයි


ඒ ඔහුම ද?


© ප්‍රියන්ත ෆොන්සේකා

Monday, August 22, 2022

විලෝ පත්වල ගීතය

 වසන්ත සුළඟෙහි සැළෙන               මේ ගස සතුව වේ

 

                                                                    ශතසහස්

 

                                                                                තුරු පත්

 

 

 

                    ළා දළු රන් පැහැ

 

 

                                                                                         සේදවලටත් වඩා මුදු රිකිලි

 

 

 

                 මිනිස් පුළුටකු’දු නැති මේ පිටියෙහි

 

 

 

 

                මේ විලෝ ගස අයිති කාටද?


සෙවණැල්ල - බායි ජුයි - The Song of the Willow Branches

Wednesday, November 11, 2020

ගුරු ගීතය

සුරතට ගතිමි...

රාක්කය කෙළවර

බැඳි මකුළු දැල් පිස හැර

ඒ කුඩා ගත


පෙරළුවෙමි...

එකින් එක දිග හැර

කාලයෙන් බැඳි ගැට හැර

අතීත මිහිරි පොත


අරුමයෙකි!

බැස ගොසිනි ගත හැර

ඒ ගෙවුණු කාලය හැර

කිසිවකු ද නැත ගත!


මුණගැසිණ‍

බොහෝ හිස් පිටු කෙළවර

දිරාපත් අයිලයේ නොවැසුණු දොර

නන්නාඳුනන වත


විමසුවෙමි

කොහි ද දැන් දුයිෂෙන්?

අල්තීනායි සමග ගස් දෙක පොප්ලර්?


නැගිනි ඔහු

වසන්නට පෙර තම දොර

පසුකරන්නැයි පිට 120 සන් කර

නික්මිණ!


පෙරළුවෙමි

දකිනු රිසියෙන් කෙළවර

දෙදෙන හා රුක් දෙක එක හැර

දිනු මා මතක පොත


ඇඟිලි තුඩු

නැවතුණි ය ඉන් පෙර

නොවිනි පිටු එතරම් දුර

............?

Tuesday, April 21, 2020

මම ඔහු දුටිමි!


මහනුවර... එනුවර
මහ සෙනඟ මැද
තනිවම
ඔහු ඇවිද ගිය හැටි
නොබියව...!

අපි සැවොම... මේ මෙහෙම
එක පොකුර ලෙද
එක්වම
ඔහු ඇවිද ගිය සැටි
ඒ මැද!

අද අප්‍රේල් විසි එක
ඒ... අප්‍රේල් විසි එක

වැසූ මුහුණට බිය වූ අපි
විවර මුහුණට බිය වී
අද... මහ සෙනග මැද
මහනුවර!

එකෙක්, ඇවිද ගිය හැටි...
නොබියව... තනිවම!

-ප්‍රියන්ත ෆොන්සේකා -


Friday, March 20, 2020

පරදන්න ඕනෙම නම් කොරෝනා



පරදන්න ඕනෙම නම් කොරෝනා
ඒත් එක්කම
දිනන්න ඕනෙම නම් ජීවිතය

නවතිමු ටිකකට...

පොතකට පුළුවන්ලු වෛරසය හඳුනාගන්න
සංගීතයකට, ඔව්, වෛරසය වෙන් කරගන්න
චිත්‍රපටයකට, වෛරසය තනි කරගන්න
කවියකට, ඔව්, වෛරසය මරා දමන්න!

පොත්, චිත්‍රපට, සංගීත සහ කවි ගෙන...
නිවස කොණ ඔබ කැමති පුටුව තෝරාගෙන...

ඇවිද ගොස් හමුවන මිනිස් ජීවිත අතරින්
සිප වැළඳ, හමුවන මිනිස් ආත්ම සතුටින්
ජීවිතය... අහා! ජීවිතය මේ යැයි කියා
සිරුර හා ආත්මය පිරෙන්නට ඉඩ දෙමු!

දන්නව නේද නුඹ?

පොතකට පුළුවන්ලු වෛරසය හඳුනාගන්න
සංගීතයකට, ඔව්, වෛරසය වෙන් කරගන්න
චිත්‍රපටයකට, වෛරසය තනි කරගන්න
කවියකට, ඔව්, වෛරසය මරා දමන්න!

-ප්‍රියන්ත ෆොන්සේකා -





Wednesday, January 29, 2020

ඔබේ උස අඟලක්!



වෙයි නම් ඔබේ උස එකම අඟලක්
පාසැලට යයි පිට නැගී පණුවෙක්
හඬන කුහුඹුවෙකුගේ කඳුලක්
වෙයි නුඹට පිහිනුමට දියඹක්

එකම එක පාන් ලෙලි මුල්ලක්
කුස නිවනු ඇත නුඹේ සතියක්
මෘගයෙක් ලෙස නැගී මැක්කෙක්
බියෙන් ඔබ නසයි එය ඇත්තක්
වෙයි නම් ඔබේ උස එකම අඟලක්

වෙයි නම් ඔබේ උස එකම අඟලක්
දොර යටින් ඔබ පැන යාවි සත්තක්
ඒත් ගත වේවි දින විස්සක්
දකින්නට වීදි කොණ කඩයක්
පෙඳ සුඟක් වේය සුව යහනක්
අතට ගෙන මකුළු දැල් නූලක්
ඔන්චිලි පදිනු ඇත ඔබ ඒක ඇත්තක්
වෙයි නම් ඔබේ උස එකම අඟලක්

කුස්සියේ බේසමෙහි ඔරුවක්
පදී ඔබ තනාගෙන හබලක්
අම්මාව වැළඳ ගනු බොරුවක්
ඇය පා ඇඟිලි සිඹිනු ඇත වරුවක්
නසනු ඇති නුඹව අන් පතුලක්
මොර නගා දිව යාවි ඇත්තක්
නගන්නට පොතක් මත පෑනක්
ගත වේවි නුඹට පැය ගාණක්

(මෙය ලීමි වසර දාහතරක්
උස නිසා මම එකම අඟලක්!)

සෙවණැල්ල - ෂෙල් සිල්වර්ස්ටයින් - One Inch Tall

Monday, January 20, 2020

රැඳීම

රැඳී ඉඳිමි මම
මෙහි මෙතැනම
හිරු පමණක්
.
.
.
.
.
.
.
.
.
බසියි!