Monday, May 2, 2011

එන්න මා වෙත


ඇස්ටන් මාටින්, බෙන්ස් සහ වොල්වෝ
දිවෙති අධි වේග මග මත
යන අත නිසි නොදැන වුව
ඩන්හිල්, බෙන්සන් ඇන් හෙජස්
උරන තරුණන්ය තැන තැන
දල්වා උ මුව රැන්ඳුව
ඇතැමෙක් වෙලති සිය දිවි
කොක්ටේල බෝතල වට

ප්‍රියය නුඹ?
දෙනෙත් කරකනු මන් ද
මග හසර නොදනිත් ද
එන්න
මා පහස ලැබගන්න
මගේ ඩාලිං වෙන්න

නොමැතියි හෙ‍ටක් යැයි දවසක්වත්
දෙසති සකල පූජක පෙළ
කදිමයි, තව තිබෙයි සතියක් දෙකක්!
ඇතැමෙක් කියති තුටු වී
පත්තර පිටු පිරී යෙති
බිහිසුණු රුදුරු කරුණින්

ප්‍රියය නුඹ?
දෙනෙත් කරකනු මන් ද
මග හසර නොදනිත් ද
එන්න
මා පහස ලැබගන්න
මගේ ඩාලිං වෙන්න

සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - Come. And be my Baby

Sunday, April 24, 2011

මෙපමණකි...


අයිස් පෙට්ටියේ
නුඹ තැබූ
ඉදුණු පල ගෙන
කෑවෙමි

බොහෝ විට
ඒ නුඹේ
පාතාරසය
විය හැක

සමාවුව මැන
බොහෝ රස විය
මිහිරැති විය
ශීත විය



සෙවණැල්ල: විලියම් කාර්ලොස් විලියම්ස් - This is just to say

Sunday, April 17, 2011

දත්


සිංහල දත්.. සිංහල දත්...
ඉර එළියෙ දිලි‍සෙන
අපේකම උතුරන
හෙළ ලකුණ රැක දෙන

සිංහල දත්... ‘සතුටු’ දත්..
නිතරෝම හිනැහෙන
සොසේජස් නොහපන
කැවුම් විතරක් කන

සිංහල දත්... ‘වීර’ දත්..
ගී පද ම සුගයන
දත් මිටි කිසි නොකන
කිසිවකුත් නොසපන!

ඉතින් අපි ගයමු ගීයක්
‍කොතරම් හැඩද
දෙමළ දත්
මුස්ලිම් දත්...?

සෙවණැල්ල: ස්පයික් මිලිගන් - Teeth

Thursday, April 14, 2011

රජකම


ම‍ට ඕන රජ වෙන්න
ම‍ට ඕන රජ වෙන්න
මට පුළුවනි ද රජ වෙන්න?

ම‍ට? පුළුවන්?
සහතිකෙන්ම? සත්තටම?
හුරේ....‍ජයවේවා...
මමයි මහ රජ
මමයි මහ රජ

හරි..
අපි දැන්
මොකද කරන්නෙ??

සෙවණැල්ල: රොජර් මැක්ගූච් - The Leader

මම අපේ අම්මා ය!


ඇඟිලි තුඩු අග ළූණු සුවඳැති
තලෙළුවන් ගැහැණී

අප ගැනම සිත දුන්
ලිප මුල මාළිගා සැදු
ඈ අපේ අම්මා
දිවි ගලා යද්දී
මහ ගඟක් වාගේ
මම අපේ අම්මා

නෙතු කඳුළු පිස දුන්
බොර පැහැ චීත්තය ඇඳි
ඈ අපේ අම්මා
දිවි ගලා යද්දී
මහ ගඟක් වාගේ
මම අපේ අම්මා

මම වෙමින්
හෙමි හෙමින්
ඇඟිලි තුඩු අග ළූණු සුවඳැති
තලෙළුවන් ගැහැණී


සෙවනැල්ල: ලෝරා ගුඩ්සන් - I am becoming my mother