Wednesday, January 29, 2020

ඔබේ උස අඟලක්!



වෙයි නම් ඔබේ උස එකම අඟලක්
පාසැලට යයි පිට නැගී පණුවෙක්
හඬන කුහුඹුවෙකුගේ කඳුලක්
වෙයි නුඹට පිහිනුමට දියඹක්

එකම එක පාන් ලෙලි මුල්ලක්
කුස නිවනු ඇත නුඹේ සතියක්
මෘගයෙක් ලෙස නැගී මැක්කෙක්
බියෙන් ඔබ නසයි එය ඇත්තක්
වෙයි නම් ඔබේ උස එකම අඟලක්

වෙයි නම් ඔබේ උස එකම අඟලක්
දොර යටින් ඔබ පැන යාවි සත්තක්
ඒත් ගත වේවි දින විස්සක්
දකින්නට වීදි කොණ කඩයක්
පෙඳ සුඟක් වේය සුව යහනක්
අතට ගෙන මකුළු දැල් නූලක්
ඔන්චිලි පදිනු ඇත ඔබ ඒක ඇත්තක්
වෙයි නම් ඔබේ උස එකම අඟලක්

කුස්සියේ බේසමෙහි ඔරුවක්
පදී ඔබ තනාගෙන හබලක්
අම්මාව වැළඳ ගනු බොරුවක්
ඇය පා ඇඟිලි සිඹිනු ඇත වරුවක්
නසනු ඇති නුඹව අන් පතුලක්
මොර නගා දිව යාවි ඇත්තක්
නගන්නට පොතක් මත පෑනක්
ගත වේවි නුඹට පැය ගාණක්

(මෙය ලීමි වසර දාහතරක්
උස නිසා මම එකම අඟලක්!)

සෙවණැල්ල - ෂෙල් සිල්වර්ස්ටයින් - One Inch Tall

Monday, January 20, 2020

රැඳීම

රැඳී ඉඳිමි මම
මෙහි මෙතැනම
හිරු පමණක්
.
.
.
.
.
.
.
.
.
බසියි!

Saturday, October 5, 2019

කවියකට පුළුවන්

කවියකට පුළුවන්
කිසිම දවසක හමු නොවුණු නුඹ
නික්ම ගිය පසුවත්
මා අභියසට ගෙන එන්න...
ඒ කවි පදයකට පුළුවන්
කිසිම දවසක හමු නොවුණු නුඹ
හදවතෙහි බර කොපමණ දැයි
කිරා මැන මට දෙන්න...
ඔව්...
කවියෙකුට විතරයි පුළුවන්
මරණයට පෙර හමු නොවුණු
කෙනෙක් ළඟ කවි පද
දෙක තුනක් තියමින්
ජීවිතය මුමුණන්න...
කවියෙකුගෙ මරණයට විතරයි
ඇත්තටම පුළුවන්
පදරුත් එකට යා කර
ජීවිතය ලියවන්න...

සටහන: මේ කවිය මා‘තින් ලියැවෙන්නේ ඉන්දික ගුණවර්ධන නමැති තරුණ කවියාගේ අකල් මරණය අසන්නට ලැබුණු පසු ය. මට ඔහු කිසි දින හමුවී නැත.

Monday, August 12, 2019

අතුරුදන් වූවෙකු වෙත ලිපියක්



දැන් මටත් තියෙනවා ගෙදරක්.
ගහපු ටකරංවලිං
වහලක් ගහපු ඉර එළියෙං
ඒත් මට දැනගන්න ඕනෙ මෙච්චරයි
ඔයා නැතිවෙලා ද,
තාම පණ පිටින් ද,
ආපිට එනවා ද?
දරුපැටව් අහනවා මගෙන්
කවදාද?  කිව්වෙ මං ලොකූට

මම නොදන්න විත්තිය.
පොඩ්ඩාට නං
උත්තර නොදී හිටිය.
උගෙ අත් හරිම පුංචියි
කැඩුණු දේ දරන්න අමාරුයි.
සමහර වෙලාවට ඔයාගෙ පුත්තු

අමතක කරල හිනාවෙනව.
ලොකූට තියෙන්නෙ ඔයාගෙම හිනාව.
මෙහෙ තියෙන කටු කම්බි
හරි අලුත්, දිලිසෙනව‍.
නිල්ම නිල් පාටට අහස
බැබලෙනව
ඔයා අතුරුදන් වුණු දාට කලින් දා වාගේම.
මගෙ ලෝකෙ නං ඇකිලිලා
කොහෙන් හරි ඔයා හොයාගන්න
ඕනෙ කියන සිතුවිල්ලටම.

ඔයා කවදාවත්ම නොදැක්ක දෝණි
ඔයා වාගෙයි ටිකක්
හැබැයි ඔයාගෙම කේන්තිය.
එයා දැන් ‘බාලොලි‘ කවි කියා දෙනව
එහා ගෙයි පැටියට.

ඔයාගෙ අම්ම දැන් මා එක්ක කතා නෑ!
ඔයාට මතක ද
මං කොච්චර කිව්වද කියල ඉස්සර
එයා එයාගෙ කච කචේ
නවත්තන් නැති විත්තිය?
එයාගෙ නිස්සද්දෙ හරි බරයි
මම මෙහෙ බිල්ඩිං වැඩපළේ උස්සන
ගල් ගෙඩියක් තරමට
යුද්දෙ ඉවර වුණායිං පස්සෙ
හෝටලයක් හැදෙනව මෙහෙ.

මං දැන්
කලින් කවදාවත් නොවැඳපු
දෙවියන්ට වඳිනව
ඔයා ගැන පුංචි හෝඩුවාවක්වත්,
පණ පිටින් ඉන්න එක ගැන, ඉල්ලනව;
වැට කණුව උඩ මම නමපු වළඳ
පෙරළිලා හුළඟට;
කපුටො දෙන්නෙක් ඉගිලෙනව
උඩින් අපෙ වහලට;
ඕනැම දෙයක්,
ඇත්තටම
කරතෑකි.

සෙවණැල්ල: විවමරී වැන්ඩර්පූටන් - Letter to a dissapered one

Saturday, June 22, 2019

අද වගේ දවස්වල...!


 (28/01/2019 දිනට යෙදුණු ධර්මසේන පතිරාජයන් සමුගෙන ගොස් වසරක් පිරීමේ සිහිකැඳවීම වෙනුවෙන් ලියැවුණකි.)















ඉඳහිට මුණගැහෙන
අද වගේ දවස්වල
මම හරිම කැමතියි
පැත්තකින් හිටගන්න

අද වගේ දවස්වලට පුළුවන්
අපිව ආපහු හරවන්න

කිසිම ඉසිඹුවකට ඉඩ නැතිව
වේගෙන් දුවන කාලය
හිටි පියවර තියන
අද වගේ දවස් කදිමයි
අතීතය විමසන්න

අද වගේ දවස්වලට පුළුවන්
අපිව ආපිට කැඳවන්න

කාලය ඒ හැටි දෙයක් නෙවෙයි
අවුරුද්ද තත්පරයක්වත් නෙවෙයි
‘ජීවිතය‘ කියා නොදී
හැඟෙන්නට ඉඩ හැරි නුඹ
සමු නොගෙන සමුගත්
අද වගේ දවසක්
නිකම්ම නිකම් දවසකුත් නෙවෙයි

ඉඳහිට මුණගැහෙන
අද වගේ දවසක්...



Wednesday, May 22, 2019

තානාපතිතුමා බැහැදැකීම

(ලන්ඩනය- ගිම්හානය - 2008)

තානාපතිතුමා මගෙන් ඇහුවා
මං කොහොමද
සිංහල වෙන්නෙ කියල
50%කින් විතරක්?
ඉතින් එහෙම බැලුවම
මං 50%ක් බර්ගර් ද
එහෙමත්ම නැත්තං
මගෙං කාලක් බෙල්ජියං ද
මගෙ ඇඟේ දුවන
 ලේවල හැටියට?

ටිකක් අමාරු වැඩක් වුණා
පැහැදිලි කරන එක
මං හිතපු විදියට
අටෙන් එකක් කියන්නෙ
සීයට දොළාමාරක්
බෙල්ජියං විත්තිය
ඒත් එක්කම
ඉතිරි කාලම
ලන්දේසි විත්තිය
තවත් සීයට විසිපහේ දෙකක්
අනිත් පැත්තෙං
බොහෝ විට මාව
සීයට පණහක
සිංහලයෙක් කරන විත්තිය!

(එත් මට හරියටම දිවුරන්න නං බෑ ඔන්න,
මං 25%ක් දෙමළ වුණත් වෙන්න පුළුවන්
මගෙ උඩරට ලේවලින් සමහර විට)

ඉතින් මට බැරි වුණා
මේ ගණිත කරුමෙ
කරන්න
මං උන්නෙ ප්ලෙන් එකෙං
බැස්ස ගමං
හරිම නිදිමතිං
ඒත් මට කියන්නම හිතුණ
අන්තිම වතාවෙ මං
අසනීප වුණු වෙලාවෙ
තානාපතිතුමනි,
ගන්න වුණා ‘ෆුල් බ්ලඩ් කවුන්ට්‘ එකක්

මං හිතන්නෙ
ඒ රිපෝට් එක නෝමල්
‘ප්ලාස්මයි‘ සුදු රුධිරාණුයි
දෙකම නියම ප්‍රතිශතේ ලු
ඒත්,
මගෙ රතු රුධිර සෛල
ටිකක් අඩුයි ලු
පේනවනෙ තානාපතිතුමනි,
මං ‘රතු මස්‘ කන්නෙ නෑ
ඉතිං මං
හැමවෙලාවෙම
ටිකක් සුදුමෑලි පාටයි!

සෙවණැල්ල: Meeting a VIP -  විවිමරී වැන්ඩර්පූටන්  

Wednesday, May 8, 2019

මතක පැකැට්ටුවක්…

















එක් වරක්
ගොඩ වැදුණි අයෙක්
වැවූ නෙක් අල ගෙඋයන
රිසියෙන් නුඹේ පොත් ගැන
 ඔහු නුඹට දිගු කළේ අලයකි
ඔහුගේ ගෙඋයන වැවුණු!
නුඹ ඔහුට දිගු කළේ ගතෙකි
රාක්කය මත රැඳුණු!

තව වරක්
ගොඩ වැදිණ යෝගියෝ දෙදෙනෙක්
විය වදනකුදු නොබිනූ
තිදෙනගේ ‘නිහඬතා‘ සංවාදය
කාලය මත රැඳුණු!

පසුව,
වැඩියේ ය භික්ෂුවක්
ඈත දුර ගමකින්
පාඨක පෙළක් සමගින්
 සහ
තවත් භික්ෂුවක්
මහණ වත වැළඳගත්
සිය පවුල සොයුරු වත සමගින්

එපරිදි ය... ආ පිරිස දිගු විය….

ඔබේ පාඨක පෙළ
සැමවිටම සිත් ගැණින
ඔබ මෙන්ම
ඔබේ ගත් මෙන්ම

වරෙක මට ඇසිණ
කවරකු හෝ විමසනු,
ඉතින් කොහොම ද දරු පැටව්?
මොනව ද කරන්නෙ දැන්?”
එයාලා අර‍හෙ මෙහෙ!

එපමණකි. නැත කිසිත්.

 කොයියම්ම මොහොතක
යළි මා පැමිණි පසු නිවසට
‘අරෙහෙ මෙහෙ‘ ගොස්

ඇතැම් දුක් ගෙන පෑවෙමි
එකදු වදනක් නොම හැර
සෑම වත කෙළවර
 වූයේ එකම පිළිතුර,
‘අයියෝ ගණන් ගන්න එපා‘!

පිළිතුර ද විය එය. තවමත් එයයි පිළිතුර!

විශ්වාස කරනට නොහැකි බැව් මතකයන්
ඔබ කීය, ඔබේ එක් වතක් තුළ
නමුත්, නොහැකි ද ඇත්තටම?

ප.ලි: දෙවිවරු පැකැට්ටුව හමුවුණා ද නුඹට?

(මෙයින් වසර 04කට පෙර මැයි මස 08 වැනිදාවක සමුගත් අපේ තාත්තාගේ (මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ) මතකය වෙනුවෙනි)
සෙවණැල්ල: A Packet of Memories... - මුදිතා ධර්මසිරි