Wednesday, September 26, 2012

මා දයාබරිත සඳ


යතුරු ලා හිමිදිරිය
ළිං පතුලකට ලන්න
හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳ
හරි හෙමින්...

අමතකව ගියා දෙන්
හිරුට අද නැග එන්න
හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳ
හරි හෙමින්...

(ඇෆ්ගනිස්ථාන විවාහ මංගලෝත්සවවලදී ගැයෙන ගීයක ඡායානුවාදයකි)


Khaled Hosseini ගේ - The Kite Runner කෘතියෙන් ලද පද පෙළක සෙවණැල්ලකි




Sunday, September 2, 2012

කූඩු කුරුල්ලාගේ කූජනය


විදාහල පියාපත් සළා ගගනතට වැද
නැගී යයි ඒ නිදහස් සියොත්
යළි වැරෙන්, මහ සැරෙන්
මිහිකත දෙසට බා විත්
රිදී හිරු රැස් පහස වෙත
යළි යළිත් පියඹයි

එනමුත් මේ කූඩුවේ කුරුල්ලා
බැඳී පා, එතී පත් ගැට ගැසී
හෙමි හෙමින්,මැදිරි දොරගුලු තුළින්
ලොව දෙසට නෙත දී
කූජනය අරඹයි

මේ කූඩුවේ කුරුල්ලා
සැලෙන කම්පිත නදින්
ගයයි යම් අරුමැති දෙයක්
වැද සැරෙන්, නද නැගෙත්
දුරු බිම කිඳ හා වනබිම සිසාරා
ඒ නිදහසේ ගීයයි

නිදහසින් පියා විදි කුරුලු තෙම
නෙත යොමන්, විමසමින්
ලේ පිරුණු ගොදුරක්
ගගණතම සිය නමට ලියමින්
තවත් උණුසුම් සුළං විමසයි

එහෙත් මේ කූඩුවේ කුරුල්ලා
අඳුරු සෙවණැලි අතර ගෙවමින්
වැද බියෙන්, සැඟවෙමින්
භයංකර සිහින මැද යළි නැගී
කූජනය අරඹයි

මේ කූඩුවේ කුරුල්ලා
සැලෙන කම්පිත නදින්
ගයයි යම් අරුමැති දෙයක්
වැද සැරෙන්, නද නැගෙත්
දුරු බිම කිඳ හා වනබිම සිසාරා
ඒ නිදහසේ ගීයයි

සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - I Know Why The Caged Bird Sings

Sunday, August 19, 2012

අපරාධය


සියල්ල නිශ්චිතව 
අවසන් ව පැවතිණ
සුපුරුදු ලෙසම 
බිත්ති නිසසල විය
ඇසින් දුටු හූනා 
වෙනත් සිවිලිමක විය
කිළිටි වු කවුළු තිර මොබ
මදුරු ගුමුවක් පමණි
දුහුවිලි පිරි ගෙබිම මත
එක් පැල්ලමක් පමණි

මළ කැරපොතු සිරුර
පසෙක විය
මිය යනු දුටු දෙනෙත
දක්නට නොමැති විය

අනතුරුව ආ එකම නාශක දියරයකි!
බිඳු කිහිපයකි
තනි විදුමකි


කිසිත් නොකියන බිත්ති මත
යළිත් ආ හූනා ද නිහඬ ය
මදුරු කැළ අහරට ගොසිනි
කවුළු තිර යළි නිසල ය
දුහුවිලි ද සුළඟට ගොස්
අලුත් දුහුවිලි එක්වෙමින් පැවතිණ

කැරපොතු මළගම
ඔව්! මම එහි ගියෙමි
අපරාධය ගැන කියන්නට
මට ද කිසිවක් නැත

එකම සුදු මල්වඩමක්
ඒ බිම මත රැඳින
පියකරු මුත් එදින
වැසිබරව පැවතිණ


සෙවණැල්ල: රික් එස්. බැස්ටාසා - Perfect Crime

Sunday, August 12, 2012

පිටස්තරයෝ


වදන් යනු හැඟවුම් ද
අසම්පූර්ණව සැදුණු,
පූර්ණ ද හැඟවුමෙන්
නිසි අරුත් ගොනු කෙරුණු..?
නොදන්නෙමි තවම මම
මමත් මගෙ බසත් දෙක
ලෝක දෙකකැයි සිතෙයි...

එහෙයින්ම
මම වදන් නොපවසමි, නිහඬ වෙමි
අරුත් නිසි නොම දෙවන
මගේ බස, හද බසට
පාලමක් නොම තනන
නිසාවෙන් නිසි ලෙසට

වදනකුදු නොදොඩන්න
ඔබ වැරදියැයි කියනු ඇත එවිට
නැගෙන නද තත් සරින්
මියුරු යැයි කියති උන්

මත භේද, විතර්කන
මට අවැසි නැත කිසිත්
ඔබෙ වදන් ඔබ ගන්න
මගෙ වදන් මම ගනිමි

ඉදින් කල‘රිමු යෙහෙන්
පිටස්තරයෝ ලෙසින්...

 
සෙවනැල්ල: ටින් මෝ - Strangers

Tuesday, July 31, 2012

මෙකව සෙවණැල්ලක් නොව....



පියවරුන් ගැන ලියැවුණු
බොහෝ පදවැල් දුටුවෙමි
එකව් සෙවණැලි තුළ
නුඹ සුවඳ නොදිටිමි

සහස් ගව් දුර සිට
මා පෙළන දොම්නස්
විමසූ නුඹ වෙතින්
දුකක්දැයි අසනු බැරි විය...

මා තුරුණු විය මුත්
නුඹ මා සුවය සෙවු මුත්
වියපත් නුඹ ගතෙහි
රෝ දුක් දකිනු බැරි විය....

මම මහල්ලෙක් වී
නුඹ තුරුණු සමතෙක්
වුණු අපූරුව දැක
සැමවිටම උන්නෙමි

සිත් තුරුණු නුඹ ගත
වියපත්ව යනු නොදිටිමි
නුඹ නික්ම ගිය බව
පිළිගන්න මම මැලි වෙමි

කිසිවක් ම නැති තරමට
හඬක් නොඇසෙන තරමට
ශුන්‍ය පරිසරයක
නුඹේ රුව යළි විමසමි

නුඹ මා අසළ නැති බව
පිළිගන්න මම මැළි වෙමි
එක්වරම මේ සිහිනය
නිමා වන තුරු ඉඳිනෙමි

(දැනට මසකට පෙර අපහැර ගිය ආදරණීය තාත්තී පිළිබඳ ලියැවුණු මෙය සෙවනැලි කවියක් නොවේ.)

Saturday, June 9, 2012

සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
ඔබට කුමරා වෙන්න තිබුණා
රනින් ගෙත්තම් ඇඳුම් ලාගෙන
මැදුරු දොරටුව දුටුව පමණින්
දෙනෙත් හමුවුණු අසුරු සැණකින්
පෙමින් මුසපත් වෙන්න තිබුණා

සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
එක්ව මියුරැති ගීත ගයමින්
රිදී සඳ දිය දහර අභියස
අපට රැඟුමක් රඟනු තිබුණා
ඔබ දෑත් මත රැඳී සතුටින්
රැඟුමතර ඉගිලෙන්න තිබුණා

සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
දිදුල රන් හා වජ්‍ර රථ ගෙන
සුරඟ වත දිනු කුමරු ලෙස විත්
නුඹට මා ජයගන්න තිබුණා
මටද ජය හිමිවන්න තිබුණා

නමුදු ඔබ මා අසළ වන විට
නොහැක මට හුස්මක් ලබන්නට

හද සැලෙන නද මා ලයෙහි තුළ
ඔබට දැණිනිද ඔබට හැඟිණි ද?
කාලයම නැවතී මොහොතකට
මහද පමණක් සැලෙන අරුමය
කුමරු ඔබමය වෙසෙසි මට නම්

සින්ඩරෙල්ලා....
ඒ මගේ නම වුණා නම් හෙම
ඔබට මෙලෙසම හැඟේවිද මා...?

මට නොහැක හුස්මක් ලබන්නට
සින්ඩරෙල්ලා නොම බැවින් මා
ඔබ මවෙත සිටිනා තුරාවට
මම නොවෙමි ඒ සින්ඩරෙල්ලා
ඔබ සෙමින් මා සිප කියන මුත්
‘ඔබයි මාගේ සින්ඩරෙල්ලා....‘

සෙවණැල්ල: ලොරේන් ලොටර් - Cinderella

Thursday, May 31, 2012

නිහඬ විලාපය


සැමවිටම නැග එයි
මතුළින්ම කටහඬක්
විලාපයක්ව....
මා නම කියා අඬගසන

කටහඬ කියයි මට සැමවිටම
මා වරද කර ඇතිබව
එහෙත්,
මා පමණක්ද වැරදිකරු?

වසන්නට තැත් දරමි
කටහඬ මතුළ වන
මෙසියල් විලාප හඬ
මා වෙතට කැන්දන

නමුත් හඬ නිතර මා වෙත ය
සිහින තුළ වුව සුලභ ය

මතුළ වන හඬ රහසෙකි
කිසිවිට නොම පෙනෙන
එහෙත් රහසින්ම මවිමසයි
අගාධයෙකින් මෙන් නැගෙයි

සෙවණැල්ල: ටෝරි වේ - A Silenced Scream