Saturday, June 9, 2012

සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
ඔබට කුමරා වෙන්න තිබුණා
රනින් ගෙත්තම් ඇඳුම් ලාගෙන
මැදුරු දොරටුව දුටුව පමණින්
දෙනෙත් හමුවුණු අසුරු සැණකින්
පෙමින් මුසපත් වෙන්න තිබුණා

සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
එක්ව මියුරැති ගීත ගයමින්
රිදී සඳ දිය දහර අභියස
අපට රැඟුමක් රඟනු තිබුණා
ඔබ දෑත් මත රැඳී සතුටින්
රැඟුමතර ඉගිලෙන්න තිබුණා

සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
දිදුල රන් හා වජ්‍ර රථ ගෙන
සුරඟ වත දිනු කුමරු ලෙස විත්
නුඹට මා ජයගන්න තිබුණා
මටද ජය හිමිවන්න තිබුණා

නමුදු ඔබ මා අසළ වන විට
නොහැක මට හුස්මක් ලබන්නට

හද සැලෙන නද මා ලයෙහි තුළ
ඔබට දැණිනිද ඔබට හැඟිණි ද?
කාලයම නැවතී මොහොතකට
මහද පමණක් සැලෙන අරුමය
කුමරු ඔබමය වෙසෙසි මට නම්

සින්ඩරෙල්ලා....
ඒ මගේ නම වුණා නම් හෙම
ඔබට මෙලෙසම හැඟේවිද මා...?

මට නොහැක හුස්මක් ලබන්නට
සින්ඩරෙල්ලා නොම බැවින් මා
ඔබ මවෙත සිටිනා තුරාවට
මම නොවෙමි ඒ සින්ඩරෙල්ලා
ඔබ සෙමින් මා සිප කියන මුත්
‘ඔබයි මාගේ සින්ඩරෙල්ලා....‘

සෙවණැල්ල: ලොරේන් ලොටර් - Cinderella

Thursday, May 31, 2012

නිහඬ විලාපය


සැමවිටම නැග එයි
මතුළින්ම කටහඬක්
විලාපයක්ව....
මා නම කියා අඬගසන

කටහඬ කියයි මට සැමවිටම
මා වරද කර ඇතිබව
එහෙත්,
මා පමණක්ද වැරදිකරු?

වසන්නට තැත් දරමි
කටහඬ මතුළ වන
මෙසියල් විලාප හඬ
මා වෙතට කැන්දන

නමුත් හඬ නිතර මා වෙත ය
සිහින තුළ වුව සුලභ ය

මතුළ වන හඬ රහසෙකි
කිසිවිට නොම පෙනෙන
එහෙත් රහසින්ම මවිමසයි
අගාධයෙකින් මෙන් නැගෙයි

සෙවණැල්ල: ටෝරි වේ - A Silenced Scream

Friday, May 25, 2012

යුද්ධෙ වැඩ කෙරුවොත්?



යුද්දෙ මොන තරං නං අරුම පුදුම ද?
මොන තරං අපූරු ද
ඵලදායකද ඇත්තට?

මහ බර පාන්දර
සයිරන් සද්දෙ ඇවිදින්
රට හතර පැත්තට
ගිලන්රථ පිට වෙන එක
සෙල්ලං කෙලියක් ය?

වෙඩි වැදිල මළ උන්ට
පෙට්ටි හම්බෙන්නෙත්
කකුල් නැති වුණු උන්ට
කිහිලි කරු එන්නෙත්
යුද්දෙ වැඩ කෙරුවොත්!

පුංචි දරු පැටවු ටික
කම්මැලි වෙන්නෙ නෑ
උන් උණත් හිතනව
ප්‍රශ්න මහ පෙළක් නෙ!

කඳුළු නම් වැඩියක් යැ
මොකෝ මේ මහ පොළව
උතුරන්න අඬන්ට ද
නියං කාලෙකට නං
ඒක මොන සතුටද්ද?

කොටිම්ම කිව්වොතිං
දෙයියොත් සතුටු වෙයි
මල් වෙඩිලි වාගේ
මිසයිල්, ආටිලරි
ආකාසෙ උඩ ගිහිං
දොරකඩම පුපුරණකොට


උදේ රෑ නැතුවම
යුද්දෙ වැඩ කෙරුවොත්
ඒක නං නියමයි!

ජනාධිපතිට පුළුවං
දිගු දේශනා පවත්තල
පදක්කම් අරගෙන
වීර සොල්දාදුවන්ට දීල
දේශ ප්‍රේමේ වටිනාකම
ටක්කෙටම පහදන්ට

කවියන්ට අලුත් පද
ඉතිහාසෙට හොඳ බර පිටු
නව නිපැයුම්කරුවන්ට බැරිවයැ
කෘතිම අක්මා හදන්ටත්!

මැරුණු උන්, වෙඩි තියපු උන්
හැමෝම සමානයි
හරි කදිම විදියට
ඒක පෙන්නිය හැකි!
යුද්ධෙ වැඩ කෙරුවොත්

හැඟුම් බර විදියට
ලිපි ලියන පිළිවෙල
පෙම්වතුන් දැනගයි

ඉවසගෙන මග බලන්
ඉන්නෝනැ පිළිවෙල
පෙම්වතියො හොයාගයි

පත්තරවලට ලිපි, රූප
බලන උන්ට කුතුහලය!
ගෙවල් වුණත් අලුතෙන්මනෙ
අනාථ වුණු උදවියට

මිනී පෙට්ටිකාරය වුණත්
වැඩ නැතුව ඉන්නෙ නෑ
සොහොන් පල්ලට වුණත්
මූසල කමක් නෑ

ජනපතිගෙ මූණෙත්
මහ පළල් හිනාවක්
යුද්දෙ දිගටම තිබුණොත්
ඒකම මදිද තව?

 
සෙවණැල්ල: දුන්යා මිහායිල් - The War works hard