Friday, June 19, 2015

බාලගිරි අද නෙවෙයි එනවාද හෙට?

බාලගිරි අද නෙවෙයි එනවාද හෙට
උදේ බැරි නම් වරෙන් නගේ හවසට
යන්න තව තැන් නුඹට බොහොම තිබුණට
හැම තැනම රැවටිල්ල වරෙන් අපෙ ගෙට

ගිරි ලෙනක නුඹ තනිව හිටියෙ කොහොම ද?
නුඹ නැතිව මාපියන් කඳුළු බිව්ව ද?
එකුස උන් සොයුරු කළ හදිය ඇත්ත ද?
මේ සියලු දුක් කන්ද වින්දෙ කොහොම ද?

බාලගිරි පුතුට නුඹ වින කරනු ඇති
හිතන අපෙ ගෙදර අය නුඹ දැකල නැති
හෙට ඇවිත් නුඹේ වත කිව්වොතින් ඇති
සියුමැලිය මගෙ බිරිය කඳුළු බොනු ඇති

නුඹ සමැති දුක් විඳින ලියන් ඇත අදත්
එය සිතට ගනු පිණිස කියන් වත ඇවිත්
හෙට දිනක ලොව නැගෙන පුතු සදන අපිත්
හා සමග නවතින්න ඇත නිවස ඉඩත්

උඹ වින්ද දුක් කන්ද හොඳටෝම ඇති
හැම දොරම උඹට දෙන රැවටිල්ල ඇති
සෙනසුරුගෙ හෙට නෙවෙයි, නැගණි අදරැති
බාලගිරි හෙට වරෙන් දොර ඇරල ඇති


(සෙවණැලි කවියක් නොවේ)





Wednesday, June 17, 2015

මගේ පුතා හෙට එනවලු!


වැරදීමකින්වත්
ඇවිදිනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
කෙහෙම්මලක් උඩින්වත්

මේ කාලෙ හරිම පුදුමයි
බුදු බණත් හරිම ලාභයි
සේනාවෙ කට්ටිය
උඹව උදුරං යයි

වැරදීමකින්වත්
කතා කරනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
මොනවා හිතට ආවත්

මේ කාලෙ හරිම පුදුමයි
වචනත් හරිම ලාභයි
හිටපු රජෙකුට වුණත්
උඹව ඕනෑ වෙයි

වැරදීමකින්වත්
ඉපදෙනව නෙවෙයි උඹ
හෙට දවාලේ මිස
 රාත්තිරියක නම්

මේ කාලෙ හරිම පුදුමයි
තරුත් සැක නොකර බෑමයි
ගව ලෙනක හැඩ නිසා වාට්ටුව
උඹ අපිට නැති වෙයි

කිසිම සද්දක් නැතිවම
උඹ හෙමිහිට වරෙන්
ඇවිත් ටික දවසක්
නාඬා වුණත් හිටපන්

මල් උඩ ඇවිදින්න
ලොකුකම් ගැන කියවන්න
තරු පිපෙන රෑ මැද
එළු බැටළු රෑන් එක්ක යන්න
පස්සෙ හෙමිහිට බැරියැ?

දැනට...
පරිස්සමින් වරෙන්
උඹ උපදින්නයි යන්නෙ
ඒක සෙල්ලමක් නෙවෙයි!

-තාත්තා-



 (සෙවනැලි කවියක් නොවේ. හෙට උපදින සිඟිති පුතු වෙනුවෙනි)

Sunday, April 26, 2015

කාමරයක හැටි!

බලහල්ලකො මේ කාමරයක හැටි
කාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටි

යට කලිසම අර රැඳිල ලාම්පුවෙ
කමිසය තියෙන්නෙ මේස ලාච්චුවෙ

ලාච්චුවෙ තිබුණු බඩු ඉස්ටෝරුව
පුටුවට ඇවිදින් තියෙන අපූරුව

සරම ගැලවිලා බිම මත රවුමකි
ඒ මැද්දෑවේ බැනියං ගුලියකි

ලියන පොතක් ඇත ජනේල පඩියේ
පෑන පෙනෙයි කුණු කූඩය අඩියේ

ඇඳ මත බුදියන කණාටු බල්ලා
ලඟම තියෙන හැටි  කලිසම එල්ලා

පරණ රේඩියෝ එක උඩ කදි‍මෙට
මේස් දෙකක් ඇත එල්ලී පහළට

බලහල්ලකො මේ කාමරයක හැටි
කාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටි

කාගෙද මන්දා මේ ගුබ්බෑයම?
සුනිල් ද? නිමල් ද? ලොක්ක හැබෑටම?

මොකක් කිවුව? මං...? මගේ ද අයිතිය?
ඒකද මට මේ දැනෙන හුරු ගතිය?


සෙවණැල්ල - Messy Room -ෂෙල් සිල්වෙස්ට්‍රින් 

Friday, March 28, 2014

නිහඬවම...

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
මේ අඳුරු, කළුවර අගාධය තුළ
ගුලි ගැසී සිය සිරුරු තුළටම!
කිසිදු සුසුමක්, එකම එක ඉකි බිඳුමක්
හැල හොල්මනක්, කිසිත් නැතුවම.

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
වළදැමීමේ කරදරයත්
අනෙකා වෙත නොදමාම!


සෙවණැල්ල - Gulzar - ගුල්සාර්ගේ කවියකින්...

Sunday, December 22, 2013

සමුගනිමු කියන්නට - ඔව් දැන්...අවැසි නැත!



පෙර දිනෙක ඒ හැඟුමකි
පසුව නැග ආ පැතුමකි
නිහඬ සිතුවිල්ලක් ලෙස නැගී
හඬ නැගී හද ගැබ බිඳ
ඇසුණු අරුතැති වදනකි
මහ යුද නිම වන තුරුම
දැනුණු සුන්දර හැඟුමකි

ඔබ අමතන සැනින්
මම යළිත් දිව එමි
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත!

පෙරළෙන බව කියන මුත්
නිරතුරුව ලෝ වෙස
එවදනින්ම කියවෙත් ද
මෙලෙස නොපැවති බව
එය පෙර දිනෙක කිසි?

යුද බිමෙන් හිස හරවත්ම
මෙපමණි ඔබට කළ හැකි
මිතුරන් කවුරුන්ද
හඳුනා ගැනුම පමණකි

අනන්තය කළු කෙළවර
දිලෙන තරු කැටයක් ගෙන
ඉන් නැගෙන කැල්මෙන්
මග සොයා එනු මැන

අවසානයේ ඔබ
යළිදු පැමිණෙනු ඇත
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත!


ඇරඹුම වෙතම යළි
අපි දැන් පැමිණ ඇත
එය හැඟුමක් පමණි
තවමත් දත් අයෙක් නැත

නමුත්
ඔවුන් වෙත
නොමහැඟුණු පමණින්
ඔබ මතක වල දැමිය යුතු නැත
මතකයට දැඩිව තව දැඩිව
නැගෙන්නට ඉඩ දෙන්න
දෙනෙත් අභියස ඒ
මැවී තිර වන තරමට

උන් ඇමතූ විගස
ඔබ යළිත් එනු ඇත
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත! 

සෙවණැල්ල - The Call - රෙජිනා ඉල්යිච්නා ස්පෙක්ටර්

වදනක් :- රෙජිනා ස්පෙක්ටර්ගේ The Call ඇය විසින්ම ලියා ගායන කරන ලද ගීතයකි. පසුව එය සුප්‍රකට The Chronicles of Narnia චිත්‍රපට පෙළෙහි Prince Caspian නම් වූ කෘතියේ අවසානය සඳහා යෙදීමත් සමග ඉහළ ජනාදරයක් දිනී ය. 

ගීතයකට අරුත් කොපමණ වේද? බ්‍රිතාන්‍යයේ රාජකීය සිහිකිරීමේ දින උළෙලේ දී හමුදා සේවයේ නිරත පියවරුන්ගේ දියණියන් පස් දෙනෙකු (Poppy Girls) විසින් ගයන ලද මෙම ගීතය හා අවසාන අනපේක්ෂිත මොහොත ගීතයේ අරුත් දහස් ගණනට තවත් එක් අරුතක් මුසු කළේ ය. 


Monday, October 7, 2013

වම් ඉවුර සිහි කරමි



වම් ඉවුර සොඳුරුය
බොහෝ කලකට පෙර,
මා එහි ඉම් පෙදෙස්
හොඳින් දැන සිටියෙමි

හිරු නැගෙද්දී
ගංතෙර මල් නැගී
රත් පැහැය ගෙන දිලින
ගිනි ලෑ විලස දිදුලමින

වසන්තයේ දී
ගං දිය රැළී නැගී
නිල් පැහැ ගෙන දිලින
සුපැහැදිලි ලෙස දිදුලමින

මා කෙසේ නම්
ඒ මතක නසමි ද

වම් ඉවුර සොඳුරුය
බොහෝ කලකට පෙර,
මා එහි ඉම් පෙදෙස්
හොඳින් දැන සිටියෙමි

සෙවණැල්ල - බායි ජුයිගේ කවියකිනි