Sunday, April 26, 2015

කාමරයක හැටි!

බලහල්ලකො මේ කාමරයක හැටි
කාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටි

යට කලිසම අර රැඳිල ලාම්පුවෙ
කමිසය තියෙන්නෙ මේස ලාච්චුවෙ

ලාච්චුවෙ තිබුණු බඩු ඉස්ටෝරුව
පුටුවට ඇවිදින් තියෙන අපූරුව

සරම ගැලවිලා බිම මත රවුමකි
ඒ මැද්දෑවේ බැනියං ගුලියකි

ලියන පොතක් ඇත ජනේල පඩියේ
පෑන පෙනෙයි කුණු කූඩය අඩියේ

ඇඳ මත බුදියන කණාටු බල්ලා
ලඟම තියෙන හැටි  කලිසම එල්ලා

පරණ රේඩියෝ එක උඩ කදි‍මෙට
මේස් දෙකක් ඇත එල්ලී පහළට

බලහල්ලකො මේ කාමරයක හැටි
කාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටි

කාගෙද මන්දා මේ ගුබ්බෑයම?
සුනිල් ද? නිමල් ද? ලොක්ක හැබෑටම?

මොකක් කිවුව? මං...? මගේ ද අයිතිය?
ඒකද මට මේ දැනෙන හුරු ගතිය?


සෙවණැල්ල - Messy Room -ෂෙල් සිල්වෙස්ට්‍රින් 

Friday, March 28, 2014

නිහඬවම...

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
මේ අඳුරු, කළුවර අගාධය තුළ
ගුලි ගැසී සිය සිරුරු තුළටම!
කිසිදු සුසුමක්, එකම එක ඉකි බිඳුමක්
හැල හොල්මනක්, කිසිත් නැතුවම.

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
වළදැමීමේ කරදරයත්
අනෙකා වෙත නොදමාම!


සෙවණැල්ල - Gulzar - ගුල්සාර්ගේ කවියකින්...

Sunday, December 22, 2013

සමුගනිමු කියන්නට - ඔව් දැන්...අවැසි නැත!



පෙර දිනෙක ඒ හැඟුමකි
පසුව නැග ආ පැතුමකි
නිහඬ සිතුවිල්ලක් ලෙස නැගී
හඬ නැගී හද ගැබ බිඳ
ඇසුණු අරුතැති වදනකි
මහ යුද නිම වන තුරුම
දැනුණු සුන්දර හැඟුමකි

ඔබ අමතන සැනින්
මම යළිත් දිව එමි
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත!

පෙරළෙන බව කියන මුත්
නිරතුරුව ලෝ වෙස
එවදනින්ම කියවෙත් ද
මෙලෙස නොපැවති බව
එය පෙර දිනෙක කිසි?

යුද බිමෙන් හිස හරවත්ම
මෙපමණි ඔබට කළ හැකි
මිතුරන් කවුරුන්ද
හඳුනා ගැනුම පමණකි

අනන්තය කළු කෙළවර
දිලෙන තරු කැටයක් ගෙන
ඉන් නැගෙන කැල්මෙන්
මග සොයා එනු මැන

අවසානයේ ඔබ
යළිදු පැමිණෙනු ඇත
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත!


ඇරඹුම වෙතම යළි
අපි දැන් පැමිණ ඇත
එය හැඟුමක් පමණි
තවමත් දත් අයෙක් නැත

නමුත්
ඔවුන් වෙත
නොමහැඟුණු පමණින්
ඔබ මතක වල දැමිය යුතු නැත
මතකයට දැඩිව තව දැඩිව
නැගෙන්නට ඉඩ දෙන්න
දෙනෙත් අභියස ඒ
මැවී තිර වන තරමට

උන් ඇමතූ විගස
ඔබ යළිත් එනු ඇත
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත! 

සෙවණැල්ල - The Call - රෙජිනා ඉල්යිච්නා ස්පෙක්ටර්

වදනක් :- රෙජිනා ස්පෙක්ටර්ගේ The Call ඇය විසින්ම ලියා ගායන කරන ලද ගීතයකි. පසුව එය සුප්‍රකට The Chronicles of Narnia චිත්‍රපට පෙළෙහි Prince Caspian නම් වූ කෘතියේ අවසානය සඳහා යෙදීමත් සමග ඉහළ ජනාදරයක් දිනී ය. 

ගීතයකට අරුත් කොපමණ වේද? බ්‍රිතාන්‍යයේ රාජකීය සිහිකිරීමේ දින උළෙලේ දී හමුදා සේවයේ නිරත පියවරුන්ගේ දියණියන් පස් දෙනෙකු (Poppy Girls) විසින් ගයන ලද මෙම ගීතය හා අවසාන අනපේක්ෂිත මොහොත ගීතයේ අරුත් දහස් ගණනට තවත් එක් අරුතක් මුසු කළේ ය. 


Monday, October 7, 2013

වම් ඉවුර සිහි කරමි



වම් ඉවුර සොඳුරුය
බොහෝ කලකට පෙර,
මා එහි ඉම් පෙදෙස්
හොඳින් දැන සිටියෙමි

හිරු නැගෙද්දී
ගංතෙර මල් නැගී
රත් පැහැය ගෙන දිලින
ගිනි ලෑ විලස දිදුලමින

වසන්තයේ දී
ගං දිය රැළී නැගී
නිල් පැහැ ගෙන දිලින
සුපැහැදිලි ලෙස දිදුලමින

මා කෙසේ නම්
ඒ මතක නසමි ද

වම් ඉවුර සොඳුරුය
බොහෝ කලකට පෙර,
මා එහි ඉම් පෙදෙස්
හොඳින් දැන සිටියෙමි

සෙවණැල්ල - බායි ජුයිගේ කවියකිනි

Saturday, June 29, 2013

කාලයට මම අකමැතියි...



දුවන්නට හැකි වෙතොත්
කාලයේ පසුපසට
මම දුවමි හරියටම
වසරකුත් සතියක් මුලට
හරියටම  හරි දිනට
නුඹේ අවසන් කථන ඇමතුමට

මම කියමි රෝහලට
දැන්ම යන්නැයි කියා
නුඹ පෙළන බඩ රිදුම
පුංචි නොවෙතැයි කියා

කාලය තරම් බිහිසුණු
කිසිත් මම නොදනිමි
යන්න අවසර නැති
කරුණු මම විමසමි...

අවසර තිබිණි නම්
තාත්ති නුඹ තවම මෙහි
සමුගෙන වසරකුත් නොව
සමුගන්න තව කල් ඇති...

(අපේ තාත්ති අපෙන් සමුගෙන අදට වසරකි!)

Thursday, May 30, 2013

නිශ්ශබ්දතාව

නුඹ වෙතින් නැගි
නිහඬකම දැක
විඳගතිමි මම
සියලු හැඩ රූ
අසන්නට පෙර
එකම වදනක්

අවැසි නැති දැන්
කිසිත් හඬ මට
සියලු හැඩ දැන
හැඳින අවසන්
නුඹ වෙතින් ආ
නිහඬකම විඳ

සෙවණැල්ල - ලෝන්ග්ස්ටන් හියුජ්ස් - Silence