Friday, May 25, 2012

යුද්ධෙ වැඩ කෙරුවොත්?



යුද්දෙ මොන තරං නං අරුම පුදුම ද?
මොන තරං අපූරු ද
ඵලදායකද ඇත්තට?

මහ බර පාන්දර
සයිරන් සද්දෙ ඇවිදින්
රට හතර පැත්තට
ගිලන්රථ පිට වෙන එක
සෙල්ලං කෙලියක් ය?

වෙඩි වැදිල මළ උන්ට
පෙට්ටි හම්බෙන්නෙත්
කකුල් නැති වුණු උන්ට
කිහිලි කරු එන්නෙත්
යුද්දෙ වැඩ කෙරුවොත්!

පුංචි දරු පැටවු ටික
කම්මැලි වෙන්නෙ නෑ
උන් උණත් හිතනව
ප්‍රශ්න මහ පෙළක් නෙ!

කඳුළු නම් වැඩියක් යැ
මොකෝ මේ මහ පොළව
උතුරන්න අඬන්ට ද
නියං කාලෙකට නං
ඒක මොන සතුටද්ද?

කොටිම්ම කිව්වොතිං
දෙයියොත් සතුටු වෙයි
මල් වෙඩිලි වාගේ
මිසයිල්, ආටිලරි
ආකාසෙ උඩ ගිහිං
දොරකඩම පුපුරණකොට


උදේ රෑ නැතුවම
යුද්දෙ වැඩ කෙරුවොත්
ඒක නං නියමයි!

ජනාධිපතිට පුළුවං
දිගු දේශනා පවත්තල
පදක්කම් අරගෙන
වීර සොල්දාදුවන්ට දීල
දේශ ප්‍රේමේ වටිනාකම
ටක්කෙටම පහදන්ට

කවියන්ට අලුත් පද
ඉතිහාසෙට හොඳ බර පිටු
නව නිපැයුම්කරුවන්ට බැරිවයැ
කෘතිම අක්මා හදන්ටත්!

මැරුණු උන්, වෙඩි තියපු උන්
හැමෝම සමානයි
හරි කදිම විදියට
ඒක පෙන්නිය හැකි!
යුද්ධෙ වැඩ කෙරුවොත්

හැඟුම් බර විදියට
ලිපි ලියන පිළිවෙල
පෙම්වතුන් දැනගයි

ඉවසගෙන මග බලන්
ඉන්නෝනැ පිළිවෙල
පෙම්වතියො හොයාගයි

පත්තරවලට ලිපි, රූප
බලන උන්ට කුතුහලය!
ගෙවල් වුණත් අලුතෙන්මනෙ
අනාථ වුණු උදවියට

මිනී පෙට්ටිකාරය වුණත්
වැඩ නැතුව ඉන්නෙ නෑ
සොහොන් පල්ලට වුණත්
මූසල කමක් නෑ

ජනපතිගෙ මූණෙත්
මහ පළල් හිනාවක්
යුද්දෙ දිගටම තිබුණොත්
ඒකම මදිද තව?

 
සෙවණැල්ල: දුන්යා මිහායිල් - The War works hard

Saturday, May 19, 2012

දිවිනසා ගැනීම


ඕනෑම මොහොතක මට පිටව යා හැක
ඕනෑම දෙසකට, කැමති අන්තයකට
දිලෙන තරු කැටයක්ව ගගනත
ගුරුත්වයෙන් වුව මිදී යා හැක
 
එහෙත් කිම පිටවන්න කාරණ?
පැමිණියෙද මා නොදැනමය මෙහි
බැවින් මා කල් දමමි පිටවුම
හැකිය තව සඳ එළිය විඳුමට
අවැසි මය තරු දෙස බලන්නට

කාලයේ කුළු අතර සරමින්
තුරු ලතා වන වදුළු දකිමින්
සියුම් හසරැල්, වේදනා නෙක
පිරුණු මිනිසුන් මුහුණු දකිනෙමි

සැම විටම පිරිපත නොඑනු ඇත
එහි ඉමෙහි සතුටද රැඳෙනු ඇත
දුක් කටොළු කෙළවරක හමුවන
අභිමනින් අප හද නැගෙනු ඇත

පිට නොවෙමි මම නිසි දිනට පෙර
යළි නැගී සටනට හැරෙන්නෙමි
දිවිය පෙරටම යන්න ඉඩහැර
මා අවැසි මග සදාගන්නෙමි

මගේ පිවිසුම මා නොසැදු මුත්
මා එවූ යම් අයෙකු වනු ඇත
ඔවුනතින් මා වෙතට යොමු කළ
මටම නියමිත පියවරක් ඇත

පියවරට පෙර යන්න නොසිතමි
මගේ පිටවුම අදයි නොහඟිමි

වඩා වටනේය විමසුම
කුමක්දැයි මේ සැමට විසඳුම
අගනේය ඉටුකෙරුම යුතුකම
හිස නොබා අභියසෙහි පැරදුම

කවුරුමුත් කවදාක දිනයෙක
කොහේ හෝ කළ කුමක් වූයෙන්
පෙරදිනක මම යන්න සැදුයෙමි
යමෙක් මට කී කවරකුද හෝ
මගේ පියවර දකිනු රිසියෙන්
හිඳින බව, මම නොගොස් නවතිමි!!

සෙවණැල්ල: අබ්දුල් වහාබ් - Suicide

Saturday, April 21, 2012

බල්ලා මළා නෙව!


මගෙ බල්ලා මළා
වත්ත කොණ වැටබොඩ
මම ඌව වැළලුවා

තවත් ටික දොහකින්
එතනටම පස් වෙන්ට
හිතානයි උන්නෙ මං
ඒත් ම‍ට කලියෙන්
ලොම් ඇඳුං ඇඳගෙන
ඌ  යන්ට ගිහින් නෙව

ලොම් ඇඳුම නං මදිය?
මහ කැත පුරුදු ‍ටික
තෙත කළු හොම්බ එක්කයි
ඌ යන්ට ගිහිං ඇත්තෙ

මම ලොකු භෞතිකවාදියා
දිව්‍ය ලෝකයක් ගැන නං
හිතන්නෙම නෑ කොහොමත්
අහස උඩ ඇති කියල
කිසිම මිනිහෙක් එනකං
මග බලාගෙන එක දිගට

ඒත් ම‍ට නං සැක නෑ
මහ බලු දිව්‍ය ලෝකයක් ඇති!
මම එනකං වලිගෙ වන වන
මගේ බලු යාළුවත් එක්ක

මේක දරා ගන්ට අමාරු
මහ වේදනාවක් නෙවෙයි නෙව,
කිසිම දවසක ඌ නෑ
මගේ දණ උඩ නැග්ගෙවත්
ඇඟ ව‍ට කරකැවිල
ලීලෙ පෙන්නුවෙ වත්

ඌ කරේ එක දෙයයි
බලාගෙන උන්නු එක විතරයි
මට වඩා පිරිසිදු
උගේ ඇස් ඇරගෙන
එක දිගට බලාගෙන
උන්න ඌ මගෙ ළඟ

උගෙ දුඹුරු ලස්සන
ලොම් පිරිච්ච ජීවිතේම
හැම වෙලාවෙම ළඟ උන්න
මොකවත්ම නොකියා
කිසි කරදරයක් නොකර

ඉඳහිට හවස් වරුවෙ
අපි ඔහෙ ඇවිද්දා
කිසි කතාවක් නැතුවත්
ඌ හරි විනෝදෙන් උන්නා
ම‍ට හොඳ‍ට මතකයි
දවසද්දා හවසක
කපුටෙක්‍ට උඩ පැන්න
අර මහ නුගේ කිට්ටුව

විනෝදෙන් හරි විනෝදෙන්
බල්ලො විතරම නෙව දන්නෙ
විනෝදෙන් ම ඉන්න හැටි
කටු ටික මිසක් මස් කළඳ නැති
කණාටු බලු නහට්ටත්
ඒක දන්නව යසට...

පාංසකූල නං මුකුත් තිබ්බෙම නෑ
අපි ඉතිං එහෙමත්ම
ළඟින් උන්නෙ නෑ නෙව

ඉතින් ඌ මළා
වත්ත කොණ වැටබොඩ
මම ඌව වැළලුවා



සෙවණැල්ල: පැබ්ලෝ නෙරුඩා - A Dog has died

Saturday, January 14, 2012

එකා


මම පමණි
නොහැක කිසිවකුට තනන්නට
දෙවැන්නා
ඡායස්ථ පි‍ටපතකින් මෙන්...

නැත මා ඇඟිලි මුද්‍රාව
නැත මා හඬන මගෙ කඳුළු
හෝ මා නඟන සිනහව
මා සිහින...
මා තුළම නැ‍‍ඟෙන මියෙන

එනමුදු
හැකිය නළුවකුව
මා නැටුම නටන්න‍ට
මා ගැයුම ගයන්නට
මා සෙමින් මුමුණන
මා තනුව නඟන්න‍ට

හැකිය කැඩපතට
මා ඉදිරිපස හිඳ
ප්‍රතිරූප නඟන්න‍ට
යළි යළිත්
කහ පැහැති ගුරු පැහැති
මා ඇඳුම් සමග ගෙන

එහෙත්
කිසිවෙකුට නොහැක
ඇතුළු වී මා වතට
මා ම වන්න‍ට
මා හැඟුම හඟින්න‍ට
මා දිවුම දුවන්න‍ට
මා අසන මියැසි නද අසන්න‍ට...

මා මම ම පමණි
ඇවෑමෙන්
මා නඟන හඬ නඟන්න‍ට
නොමැත කිසිවෙක්...

නමුත්
හැකිය ඕනෑම කෙනෙකු‍ට
මා ප්‍රකෝපිතව
හඬ නඟනු රඟන්න‍ට
මා නඟන ප්‍රතිරාව නඟන්නට

කැඩපතට හැක ප්‍රතිරූප තනන්නට
යළි යළිත්
නිල් පැහැති කොළ පැහැති
මා ඇඳුම් සමග ගෙන



සෙවණැල්ල: ජේම්ස් බෙරී - One...

Monday, August 22, 2011

ප්‍රොජෙක්‍ටර ක්‍රියාකරවන්නා දුටු සිහින‍ය




කුරුලකු පිය සළා විත්
ශාලාව ඇතුළ‍ට
ප්‍රොජෙක්ටර ආලෝකය දැක
ඒ දිග පියෑඹුව...

තිරය මත මල් උයන...
පෙම් යුවල සතුටින...
අසබඩ විසල් රුක
සොඳුරු විය නුබ කුස...

ඒ දුටු කුරුලු තෙම...
වේගයෙන් ඒ වෙත
වැද තදින් තිරය මත
මහ ලේ විලකි... සැබෑ ලේ...

විලාපය ප්‍රේක්ෂක මුව...

“මෙය නම් බිහිසුණු ය...
අප දකිනු රිසි මේ නොවේ....”

සෙවණැල්ල: බ්‍රයන් පැටන් - The Projectionist’s nightmare

Thursday, August 11, 2011

මෙ‍ම කවිය බිහිසුණු ය...


මෙ‍ම කවිය බිහිසුණු ය

එය තැබිය යුතු නැත
දරුවන් අත පොවන මානය
වැඩිහිටියකුට වුව නුසුදුසු ය... බිහිසුණු ය...

යමෙකු ගිල දැමුවොත් මුළුමනින්
අතුරු ආබාධ එනු ඇත නොනැවතී

‍නන්නාඳුනන බිහිසුණු කවිය
හමුවුවද මහ මග
පොදු ජන අවකාශයක
නොපිළිගන්න... නොකියවන්න...
උත්සාහ නොකරන්න...

බිහිසුණු කවිය ගෙන
මුද්‍රා තබා කවරයක සුරැකිව
ළඟම තක්සලාව වෙත යවන්න

එවිට උගතුන් ලිහනු ඇත
කරදර නොවන ලෙස
එම කවිය බිහිසුණු ය...

අති සරල කවියක් වුව
දිය කරනු ඇත ඔබේ හදවත
මිනිස් සිතිවිලි පොදි ගෙන
හද සසල කරවනු ඇත...

සියලු කවි වෙත රජයේ මුද්‍රාව තැබිය යුතු
‘මෙම කවි බිහිසුණු ය...
හද සසල වනු ඇත...’

සෙවණැල්ල: එල්මා මිෂෙල් - This Poem...