Saturday, October 20, 2012

මම තවම නැගෙමි


නුඹගේම කුරිරු සහ තිත්ත බොරුවෙන් ලියා
ඉතිහාස පිටු අතර නුඹ මාව රඳවාවි
අඳුරු කළුවර තැනක යදම් බැඳ සඟවාවි

එහෙත් දැනගත යුතුය
දුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්

මා වෙතැති දිරිය දැක
ඔබ තදින් සැලුණේ ද?
මා දකින විට මුවෙහි
අඳුර නැග එනු මන් ද?

ඔව් ඉතින්...
මා ඇවිද ගියේ හිස නොබා පෙරටම දිගට
මගේ ගෙයි හරි මැදින් නිධන් ලැබුණෙකු ලෙසින්

සඳ ගෙනෙන හිරු ගෙනෙන
ලොව නගන කිරණක්ව
සයුර වෙරළට ගෙනෙන
චණ්ඩ රළ පහරක්ව

නැගෙමි මම යළි යළිත්

අත් බිඳුණු පා බිඳුණු
මා දකිනු රිසි විනි ද?
හිස නැමුණු නෙත් වැසුණු
මගේ රුව සෙව්වා ද?

කොපුල් කඳුලින් තෙමී
උරහිස් ද වෙළාගෙන
මා සිටිනු මැවුණා ද
පරාජිත විලාසෙන

මා වෙතැති සවිය දැක
ඔබ එඩිය බිඳුනා ද?
එය දරන්නට තරම්
ඔබ සමත් නොවුණා ද?

ඔව් ඉතින්...
මා ඇවිත් සිනා නැගුවේ දිගට
මගේ පා ලද බිමෙන් රුවන් ලැබුණෙකු ලෙසින්

ඔබේ වදනින් හැකිය
මවෙත වෙඩි තබන්නට
ඔබේ නෙත් සර සරිය
මගේ ගෙල සිඳින්නට
සැහැසි සැලකිලිවලින්
හැකිය දිවි නසන්නට

එහෙත් දැනගත යුතුය
දුහුවිල්ල ලෙසට මා නැගෙන බව යළි යළිත්

අතීතය වළ දැමූ සොහොනතින් මම නැගෙමි
වත්මනෙන් ගලා ගිය ලේ දහර මත නැගෙමි
අඳුරු බියකරු රැයෙහි කළුවරින් විත් නැගෙමි
උදෑසන නැගෙන හිරු පියකරුය, ඉන් නැගෙමි

අතීතය වත්මන ද එක්ව ගෙන අදිටනින්
අනාගතයම සොයා නැගෙමි යළි තිර හදින්

මම නැගෙමි
යළි නැගෙමි
නොබා පෙරටම ඇදෙමි



සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - Still I rise

1 comment: