Wednesday, January 29, 2020

ඔබේ උස අඟලක්!



වෙයි නම් ඔබේ උස එකම අඟලක්
පාසැලට යයි පිට නැගී පණුවෙක්
හඬන කුහුඹුවෙකුගේ කඳුලක්
වෙයි නුඹට පිහිනුමට දියඹක්

එකම එක පාන් ලෙලි මුල්ලක්
කුස නිවනු ඇත නුඹේ සතියක්
මෘගයෙක් ලෙස නැගී මැක්කෙක්
බියෙන් ඔබ නසයි එය ඇත්තක්
වෙයි නම් ඔබේ උස එකම අඟලක්

වෙයි නම් ඔබේ උස එකම අඟලක්
දොර යටින් ඔබ පැන යාවි සත්තක්
ඒත් ගත වේවි දින විස්සක්
දකින්නට වීදි කොණ කඩයක්
පෙඳ සුඟක් වේය සුව යහනක්
අතට ගෙන මකුළු දැල් නූලක්
ඔන්චිලි පදිනු ඇත ඔබ ඒක ඇත්තක්
වෙයි නම් ඔබේ උස එකම අඟලක්

කුස්සියේ බේසමෙහි ඔරුවක්
පදී ඔබ තනාගෙන හබලක්
අම්මාව වැළඳ ගනු බොරුවක්
ඇය පා ඇඟිලි සිඹිනු ඇත වරුවක්
නසනු ඇති නුඹව අන් පතුලක්
මොර නගා දිව යාවි ඇත්තක්
නගන්නට පොතක් මත පෑනක්
ගත වේවි නුඹට පැය ගාණක්

(මෙය ලීමි වසර දාහතරක්
උස නිසා මම එකම අඟලක්!)

සෙවණැල්ල - ෂෙල් සිල්වර්ස්ටයින් - One Inch Tall

No comments:

Post a Comment